Local news

රුපියල් ලක්ෂ 730ක්.. යෝෂිතගේ නඩුවකට දින නියම කරයි

රුපියල් ලක්ෂ 730ක්.. යෝෂිතගේ නඩුවකට දින නියම කරයි

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

අනතුරුව අද දින සාක්ෂි සටහන් කරගැනීම සිදුවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස (12) වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැයකර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් 05ක් මිලදීගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක්

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග පසුගිය ජුනි (25) වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අනතුරුව එම සැකකරුවන් අවස්ථා කිහිපයකදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම සැකකරුවන් තිදෙනාට වෙන් වෙන්ව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කරමින් පසුගිය ජුලි (28) වැනිදා ඇප නියම කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනාට මේ වනවිට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත.

එම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

නගර කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමක

නගර කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමක

දිවයිනේ නාගරික ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

2026 ඔක්තෝබර් (30) වැනිදාට අදාළ දෛනික වායු ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාව මේ බව සඳහන් කරයි.

යාපනය, වවුනියාව, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම සහ මුලතිව් යන ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවති බව එම වාර්තාවේ සඳහන් වේ.

පවතින කාලගුණික තත්ත්වය අනුව ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකා වායු ගුණාත්මක දර්ශකය (SL AQI) 88ත් 120ත් අතර අගයක පැවතිය හැකි බවට අපේක්ෂා කෙරේ.

ඒ අනුව දිවයිනේ බොහෝ නාගරික ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරේ.

කඩුගන්නාව නගර සභාවේ චන්ඩි සභාපති සැගවෙයි.. අත්අඩංගුවට ගන්න හොයයි

කඩුගන්නාව නගර සභාවේ චන්ඩි සභාපති සැගවෙයි.. අත්අඩංගුවට ගන්න හොයයි

කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා විසින් කඩුගන්නාව ඉලුක්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට පහරදී ඇත.

45 හැවිරිදි ගරාජ් හිමිකරුවෙක් එම පහර කෑමට ලක්ව ඇති බවත් ඔහු මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයා කඩුගන්නාව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව පේරාදේණිය රෝහලටත් පසුව මහනුවර ජාතික රෝහලටත් මාරු කර යවා ඇත.

එම පහරදීමට සම්බන්ධ බව කියන කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනිමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු කඩුගන්නාව නගර සභාවේ බලය පිහිටුවනු ලැබුවේ සමගි ජන බලවේගය ප්‍රමුඛ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක් විසින්ය.

ඒ අනුව කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේදි සභාපති ධුරයට පත් වූයේ ලක්ෂිත අබේරත්නයි.

කොබෙයිගනේ පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

කොබෙයිගනේ පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

කොබෙයිගනේ පොලිසිය භාරයේ සිටි සැකකරුවෙක් නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියයාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක්කර ඇත.

සිය රාජකාරිය පැහැර හැරීම මත අදාළ නිලධාරීන්ට මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පසුගිය ඔක්තෝබර් (25) වැනිදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදී ඇත.

අනතුරුව දින දෙකක් පුරා එම සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවී ඇති අතර පසුව (27) වැනිදා රාත්‍රියේදී ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ⁣ට

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ⁣ට

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ නංවන බවද එහි සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කරයි.

ජාතික හැඳුනුම්පත මුද්‍රණය ඇණහිටලා

ජාතික හැඳුනුම්පත මුද්‍රණය ඇණහිටලා

මෙරට භාවිත කළ ජාතික හැඳුනුම්පත වෙනුවට පසුගිය 2017 වසරේ සිට ප්ලාස්ටික් හැඳුනුම්පතක් හඳුන්වා දෙනු ලැබුවේය.

නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ අරමුණින් ජාතික හැඳුනුම්පත් අංකය ඉලක්කම් 12කින් යුක්තවූ එම ප්ලාස්ටික් හැඳුනුම්පත හඳුන්වා දීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් මේ වනවිට එම ප්ලාස්ටික් කාඩ්පත්වල හිඟය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම් කටයුතු අඩාළ වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික හැඳුනුම්පත් ලක්ෂ 10ක් නිකුත් කිරීමට නොහැකි වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වේ.

හෙට ඉන්ධන මිල වැඩි කරයි.?

හෙට ඉන්ධන මිල වැඩි කරයි.?

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය හෙට (31) දිනයේ සිදු කිරීමට නියමිතය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිලේ වෙනසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

අද (30) දිනයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බො⁣රතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 102.03 ලෙස සටහන්ව ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 115.01 ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.08 ලෙස සටහන්ව ඇත.

මේ අතර ලංකා IOC සහ සයිනොපෙක් (Sinopec) යන පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පසුගියදා ඉහළ දැමුවේය.

මැදපෙරදිග පවතින නොසන්සුන් තත්ත්වය සහ ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම පෞද්ගලික ඉන්ධන සමාගම් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමුවේය.

ඒ අනුව රුපියල් 475ක්ව පැවති පෙට්‍රල් 95 ලීටරයක නව මිල රුපියල් 495කි.

මේ අතර පසුගිය ඔක්තෝබර් මස (01) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් ඉන්ධන මිල ගණන් සංශෝධනය කළේය.

මෙම තත්ත්වය හමුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් ඉන්ධන මිල ගණන් සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතය.

මහින්ද ලබාදුන් නිල ඇදුම ගැලවෙයි.. තීන්දුව ක්‍රියාත්මකයි

මහින්ද ලබාදුන් නිල ඇදුම ගැලවෙයි.. තීන්දුව ක්‍රියාත්මකයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස සේවය කරමින් සිටි තිදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයට පහළ හෙලීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ක්‍රියාත්මක කරන ලෙස ජාතික පොලිස් කොමිසම ගත් තීරණයකට අනුව එම තිදෙනා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයට පත්කර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට පසුගිය 2010 වසරේදී සහකාර පොලිස් අධිකාරි තනතුර දක්වා ලබාදුන් විශේෂ උසස්වීම් ශූන්‍ය සහ අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට මාසයකට පෙර නියෝග කර තිබුණේය.

මෙම නිලධාරීන් තිදෙනාට අදාළ උසස්වීම් ලබාදීම වෙනුවෙන් පසුගිය 2010 ජූලි (28) වැනිදා ගනු ලැබූ කැබිනට් තීරණ නීති විරෝධී බවත් එම තීරණ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) මූලික අයිතිවාසික කඩවන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

පොලිස් පරීක්ෂකවරුන් 33 දෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදුන්නේය.

පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛය අනුව දැනට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස කටයුතු කරන නිලධාරීන් තිදෙනා පහත සඳහන් දිනයන්වල සිට ප්‍රධාන පොලිස් නිලධාරීන් ලෙස පත් කර ඇත.

එම උසස්වීම් සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවල එවකට ආරක්ෂක අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලබාදුන් සේවාවන් පිළිබඳව අවධානය යොමු කර එම උසස්වීම් ලබාදී තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර ඇත.

මියගිය තරුණයාට පහර දීලා.. ඉලඇට කැඩිලා.. හිසේ තුවාලයක්.. ඇත්තටම මොකද වුණේ.?

මියගිය තරුණයාට පහර දීලා.. ඉලඇට කැඩිලා.. හිසේ තුවාලයක්.. ඇත්තටම මොකද වුණේ.?

පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු මියයෑම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් (12) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

හෝමාගම පොලීසිය විසින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි පුද්ගලයා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය (25) වැනිදා මියගියේය.

එම පුද්ගලයා මියයාමේ සිද්ධිය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන නමුත්, ඒ සම්බන්ධව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ (29) දින පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මේ බව සඳහන් කරයි.

තවද එම පුද්ගලයාගේ ඉලඇට තුනක් කැඩී ඇති බවත් මොළයේ රුධිර වහනයක් සිදුව ඇති බවත් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ,

“මෙම තරුණයා අත්අඩංගුවට පත් වන්නේ (25) වෙනිදා අලුයම් කාලයේ. නමුත් මෙම තරුණයා ඊට කලින් දවසේ (24) වෙනිදා. (24) වෙනිදා රෝහල් ගත වෙලා ඉඳලා තියෙනවා. ඔහු පැවසුවේ අත්අඩංගුවට ගැනීමේදී මම බයිසිකලයෙන් වැටුනා.

ඒ නිසා තමයි හොස්පිටල් ඇඩ්මිට් වුනේ කියලා. ඒ වුණත් මේ තරුණයා පැය කීපයක් රෝහල් ගත ගත කර ඉඳලා ඒ කියන්නේ වෛද්‍යවරුන්ගේ අවසරයක් නොමැතිව ඔහු රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

නමුත් පසුව අනාවරණය වෙනවා මොහු අත්අඩංගුවට පත් වෙන්න ප්‍රථම අර බයිසිකලයෙන් වැටුනා කියලා කිව්වට සිද්ධ වෙලා තියෙන්නේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වෙලා පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පහර දීම අනුව තමයි රෝහල් ගත වෙලා තියෙන්නේ.

එතකොට මේ අනුව එම සිද්ධියත් (24) වෙනිදා ඇති වූ සිද්ධියත් ඒ වගේම පොලීසියේ පොලිස් ස්ථානය තුළ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කරමින් පවතිනවා. පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේදී සිදු කළ යුතු සම්පූර්ණ ක්‍රියාදාමය, ඔහු ස්ථානය ඉදිරිපත් කිරීම, ප්‍රශ්න කිරීම, අපේ ලේඛන ලකුණු කිරීම ඒ ආදී දෙයක් නිසි පරිදි සිද්ධ වෙලා නැහැ. ඒක තමයි මේ අපේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කරන්නේ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් සිද්ධ සිදු වෙමින් පවතිනවා.”

“මේ හෝමගම සිද්ධියේදී වෛද්‍ය වාර්තාවේ තියෙන්නේ ඔහුගේ ඉලඇට තුනක් කැඩිලා තියෙනවා කියලා. ඊට අමතරව මොළයේ රුධිරය මම හිතන්නේ මේ වාහනය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙලා තියනවා.

නමුත් අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මේ හිසට තුවාල වීමක් තියෙනවා. ඉතින් මෙතන මට තියෙන ගැටලුව දැන් මොකද හේතුව දැන් මේ දවස් දෙකක් ළඟ තමයි ඔක්කොම දේවල් වුණේ. (24) යි (25) යි මේ සිද්ධි දෙක වුණේ. ගමේ එළියේදී පහර දීම සිද්ධ වුණේ (24) වෙනිදා.

පොලීසියේ පහර දීම සිද්ධ වුණා සිද්ධ වුණේ (25) වෙනිදා. ඉතින් මේ මේ පැය ගණනාවක් ඇතුළත මේ සිද්ධි වෙනස තියෙන්නේ. ඉතින් මට කියන්න අපහසුයි මේ පහර දීම කෙසේ කොහොමද වුණේ කියලා. නමුත් ඔහුගේ මරණයට හේතුව පහර දීමක් කියලා විශ්වාස කරනවා.

නමුත් මට ඒක හරියටම කියන්න බැහැනේ වෛද්‍ය වාර්තාවෙන් ලැබෙන තොරතුරු අනුව. අපි අර සිර මැදිරිය දාන්න ප්‍රථම ඔහු රදවාගෙන තිබෙනවා යම්කිසි කාලයක් මේ අපරාධ අංශයේ. ඒ තුළදී පහර දීමක් සිදු වූ බවට අපිට තොරතුරු ලැබීමෙන් පවතිනවා. තාම ස්ථිර නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරන්නේ. විමර්ශනය අනුව අපිට මේක තව ඉදිරියේදී මේ පිළිතුරු ලබා දෙන්න පුළුවන්.”

Follow WhatsApp Channel