By unusuma.lk on
(LK time)වසර 20ක් සහ 25ක් ලෙස බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති මෙන්ම හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටු වෙත යොමු කර තිබේ.
ඊයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් පැනවූ අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිත වසර 20 සිර දඬුවම් නියම කෙරුණි.
2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වන වගන්තිය යටතේ, දූෂණය, නැමැති වරද සිදු කළේ යැයි මොවුන්ට එරෙහිව නඩු පවරා තිබූ අතර, සිරදඩුවම්වලට අමතරව නලින් ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කරනු ලැබීය.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මහේන් වීරමන් සදහන් කළේ, විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවයි.
මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස 15 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ නියෝග කළේය.
2010 – 2014 දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී සිය වැටුපෙන් සහ ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.