By unusuma.lk on
(LK time)නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (09) රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සංචාරයක නිරත විය.
විශ්ව විද්‍යාලය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා එහි උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව සාකච්ඡාවක් සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා උපකුලපතිවරයා සමඟ සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි අතර මෙහිදී විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය, ජයග්‍රහණ සහ ප්‍රගතිය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදි.
මෙම දැනුවත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා අධ්‍යයන හා අනධ්‍යයන කාර්‌ය මණ්ඩල සාමාජිකයින්, හමුදා නිලධාරීන්, සෙසුනිලයින් සහ විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් සමන්විත වූ සභාව ඇමතිය.
වත්මන් රජය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් ගෙන ඇති බවත්, සෑම කෙනෙකුටම අවස්ථාවන්ගෙන් පිරුණු යහපත් පරිසරයක් නිර්මාණය කරමින් රට වර්තමානයේ මුහුණ දී සිටින බුද්ධි ගලනය නැවැත්වීමට සෑම උත්සාහයක්ම ගන්නා බවත් ඔහු පැවසීය.
විනය සහ යහපත් හැසිරීම පවත්වා ගනිමින් තරුණ පරපුරට දැනුම සහ කුසලතා පදනම් කරගත් අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම ඔහු අවධාරණය කල අතර, ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම පාලනයක් හා විනය ගරුක ප්‍රවේශයක් තුලින් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට හැකි වන බව ඔහු සඳහන් කළේය.
තවද සෑම කෙනෙකුම වගකීමෙන් කටයුතු කරන සමාජයක් තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මෙම ආර්ථික හා සමාජ මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට අපට මෙම ප්‍රවේශය වැදගත් බවද ඔහු පැවසීය.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ලබා ගත හැකි අධ්‍යාපනය හොඳින් ලබා ගෙන රටේ සංවර්ධනයට දායක වන ලෙස ඔහු තරුණ උපාධි අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය.