මුජිබර්ගෙන් ටිල්වින්ට පාඩමක්.!

පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ක්‍රියාත්මක වන නීතියක් පවතින බව ත් ආණ්ඩුව බහුතරය හදන්න උත්සාහ ගැනීමට පෙර එම නීතිය හොඳින් කියවිය යුතු බව ත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

ඔහු මේ බව පැවසූවේ ආණ්ඩුවට බහුතර බලය ලබාගෙන ඇති පළාත් පාළන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂය බාධා නොකළ යුතු බවට ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

කෙසේ නමුත් ආණ්ඩුවට බහුතර බලය ඇති සභා පිහිටුවීමට විපක්ෂය ලෙස කිසිදු බාධාවක් නොකරන අතර අනෙක් සභාවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගේ සහාය සමගි ජනබලවේගයට ලබා දීමට ඔවුන් එකඟ වී ඇති බව ත් මීට අදාළ සාකච්ඡා වල ප්‍රගතිය සියයට අනූවකට වඩා දැනටමත් සාර්ථක බව ත් මන්ත්‍රීවරයා පැවසීය.

කොළඹ මහ නගර සභාව ගත් විට ආණ්ඩුවට ඇත්තේ, මන්ත්‍රී ධූර 48 ක් බව ත් සමගි ජන බලවේගයේ සන්ධානගත මන්ත්‍රීවරු සමග සභිකයින් 46 ක් දැනටමත් සිටින බව ත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

එමෙන් ම, කොළඹ මහ නගර සභාව පිහිටුවීමට අනෙක් දේශපාලන පක්ෂ බොහෝ ප්‍රමාණයක් සමග ජන බලවේගයට එක්වන බව පොරොන්දු වී ඇති අතර කොළඹ මහ නගර සභාව පවත්වාගෙන යා හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බවත් ඔවුන් ඒ වන විට පිළිගෙන ඇතැයි හෙතෙම කීය.

ඒ අනුව, ආණ්ඩුවට යම් සභාවල බහුතර බලයක් නොලැබී ඇති අතර බහුතර බලය ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී බෙදී ගොස් ඇති බව මෙවර මැතිවරණයෙන් ඉතා පැහැදිලිව පෙනෙන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබූර් රහුමාන් වැඩිදුරට ත් පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතනයේ සභාපති හෝ නගරාධිපති පත්කිරීමේදී එම ධූර ඡන්දයක් හරහා තෝරාපත් කරගැනීම පළාත් පාලන නීතිය බව ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments