ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් (27) වන දින චීන ධජය සහිතව දිවයිනට ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හට ඇති වූ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාවයක් වෙනුවෙන් ගොඩබිමට රැගෙන ඒමට (MEDEVAC) සහාය විය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ කලාපයට ආසන්නව, නාවික සැතපුම් 700ක් පමණ දුරින් මෙම නෞකාව යාත්‍රා කරමින් සිටියදී මෙම හදිසි අවස්ථාව පැන නැගී ඇත.
නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන් ධීකරණ මධ්‍යස්ථානය වෙත හදිසි ආපදා ඇමතුමක් ලැබුණු වහාම නාවික හමුදාව ක්ෂණිකව ඒ සඳහා ක්‍රියාත්මක විය.
කොළඹ සමුද්‍රිය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අදාළ නෞකාව ගාල්ලේ වරාය සීමාව වෙත පැමිණීම සම්බන්ධීකරණය කරන අතරතුර, නාවික හමුදාව විසින් නෞකාවේ කාර්ය මණ්ඩලය වෙත අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කළ අතර රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් කඩිනමින් පිටකර හරින ලදි.
ඒ අනුව (27) උදෑසන ගොඩබිමට රැගෙන ආ රෝගියා, නාවික හමුදාවේ මඟපෙන්වීම යටතේ සහ එම නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සම්බන්ධීකරණයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ලේ පෞද්ගලික රෝහලක් වෙත යොමු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමඟ නිරතුරුව සම්බන්ධීකරණය වෙමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ කලාපය තුළ පීඩාවට පත්වන නාවික සහ ධීවර ප්‍රජාවට සහාය වීම සඳහා නිරන්තර අවධානයෙන් පසුවෙයි.

