පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව අංක 2473/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ නිකුත් කළ ප්‍රකාශනය ඇතුළත් යෝජනා සම්මතය පෙබරවාරි (06) වැනි සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර ඇත.
එදින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව වෙනත් දිනයකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය කර ඇත.
තවද, 2026 ජනවාරි (28) දිනැති අංක 2473/13 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කළ යෝජනා සම්මතයද පෙබරවාරි (06) සිකුරාදා ප.ව. 5.30ට කිසිදු විවාදයකින් තොරව අනුමත කර ගැනීමට එකඟත්වය පළ වී ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් (03) පස්වරු 1.30ට රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

