රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම සංශෝධනය කරයි.!

පසුගිය 2016 ජනවාරි (01) වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රාජ්‍ය නිලධාරින් සඳහා වඩාත් සුදුසු දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් වූ 2016 අයවැය යෝජනාවක් අනුව 2016 ජනවාරි (01) දින සිට රාජ්‍ය සේවයට බඳවාගනු ලැබූ සියලු නිලධාරීන්ගේ පත්වීම් ලිපිවල පහත විධිවිධානයක් ඇතුළත් කර ඇත.

“මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ.”

එහෙත්, 2016 ජනවාරි (01) වන දිනයෙන් පසු රාජ්‍ය සේවයේ පත්වීම්ලාභීන්හට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති අතර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කර අදාළ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප සම්බන්ධ කොන්දේසිය සංශෝධනය කිරීම සඳහා 2026 අයවැය මඟින් යෝජනා කළේය.

2016 ජනවාරි (01) දිනෙන් පසුව රාජ්‍ය සේවයට බඳවාගත් සියලුම රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල සඳහන් විශ්‍රාම වැටුප් සම්බන්ධ විධිවිධානය,

“මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. තවද, ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මඟින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය.”

එලෙස සංශෝධනය කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments