PHI ඝාතනය අත් වැරදීමක්.. පොලිස් පරීක්ෂකට දිවිදී සෞඛ්‍ය පරීක්ෂක වෙඩි කාලා.!

තම නිවසේ දී වෙඩි තබා ඝාතනයට ලක් වූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබූ පුද්ගලයා ඊයේ ගල්කිස්ස ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර එම ඝාතනයට යොදාගත් බවට සැලකෙන පිස්තෝලයක් ද මැගසින් එකක් සහ ජීව උණ්ඩ දහයක් ද සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.

මූලික ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව ඝාතකයා පොලිස් නිලධාරියකු යැයි සිතා වැරදීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇත.

අත්අඩංගුවට ගත් මෙම වෙඩික්කරු 51 හැවිරිදි පුද්ගලයෙක් බව පැවසේ.

එම ඝාතනයෙන් පසු වෙඩික්කරුට ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල ප්‍රදේශයේ නිවසක දින 20ක් තිස්සේ නවාතැන් සැපයූ බව කියන අඹු සැමි යුවළක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පාතාල වෙඩික්කරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත එම ප්‍රදේශයේම කැලෑවක සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත එම්.එම්. 8 වර්ගයේ ගිනි අවියක්ද, යතුරුපැදියක්ද, කළු පැහැති ජැකට් එකක් සොයාගෙන ඇත.

ඝාතකයා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200 සමග සැකපිට අත්අඩංගුවට ගෙන කැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පාතාල ලෝකයේ වෙඩික්කරුවකු බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.

මොහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල දී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සුල මුල අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වෙඩික්කරුට ඩුබායිහි සැඟව සිටින පාතාලයකු ලෙස සැලකෙන සමන් කොල්ලා නැමත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේ ජීවත්වූ උප පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ අටක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බව පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේවෙතත් එම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූපය වෙඩික්කරු අතට පත් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

එමෙන්ම ඩුබායි වෙත පලා ගොස් සැඟවී සිටින පාතාල නායකයා ඔහුට ඝාතන කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ අදාල පුද්ගලයා විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු යැයි පවසමින් බව අනාවරණය වී ඇත.

නමුත් ඔහු දැනටත් රාජකාරියේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය සඳහන් කරයි.

සමන් කොල්ලා නැමැති පාතාලයාට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහු එම පොලිස් නිලධාරියා ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

ලබාදුන් ඡායාරූපය අනුව ඝාතකයා ඇල්පිටිය නගර ආසන්නයේ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

එහිදී සිය දරු දෙදෙනා පාසල් රැගෙන යාමට සූදානම් වී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බිරිය පාසල් ගුරුවරියක් වන අතර මෙම ඝාතනය රටේ ඉමහත් ආන්දෝලනයට ලක්විය.

මෙම ඝාතනය සඳහා ඩුබායි පාතාල කල්ලි නායකයා රුපියල් ලක්ෂ අටක මුදලක් අත්තිකාරමක් ලෙස ලබා දී ඇති අතර එම මුදල ඝාතකයාගේ බිරිඳ ගේ නමින් ඇති ගිණුමක තැන්පත්කර ඇති බවටද පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close