By unusuma.lk on
(LK time)නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ඊයේ (8) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
එම අතුරුදන්වීමට අදාලව ප්‍රධාන සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියෙන් වසර 18කට පසුව වීම විශේෂත්වයකි.
කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවැති Sri Lanka Association for the Advancement of Science වාර්ෂික සම්මේලනයට ගොස් සිටියදී උපකුලපතිවරයා අතුරුදන් වූයේ 2006 දෙසැම්බර් මස 15 වැනි දිනදී ය.
නැගනහිර විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පිඨාධිපති කේ බාල සුකුමාර් මහතා 2006 වසරේ සැප්තැම්බර් 30 වැනිදා පැහැර ගැනීමට ලක්ව තිබුණු ඔහු අතර පැහැර ගත් කල්ලිය උපකුලපති රවින්ද්‍රනාත් මහතාට තර්ජනය කර ඇත්තේ වහාම ඔහුට උපකුලපති ධුරයෙන් ඉවත් වන ලෙසයි. ඒ අනුව ඔහු තම ඉල්ලා අස්වීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇතත් ඉල්ලා අස්වීම බාර නොගෙන ඔහුට කොළඹ සිට තම රාජකාරි කරන ලෙස දැනුම්දී තිබිණි.
පැවති ජීවිත තර්ජන හේතුවෙන් ඔහු නැගනහිර විශ්ව විද්‍යාලයේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල පිහිටි සිය දියණියගේ නිවසේ කාලය ගත කළ අතර යම් කටයුත්තකට පිටතට යන්නේ නම් ඒ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම්දී වාහනයක් ගෙන්වා ගැනීම සිරිතක් වී තිබී ඇත.
ඔහුට පැවැති ජීවිත තර්ජන පිළිබඳ එවකට ජනාධිපති මහන්ද රාජපක්ෂ සහ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂට ද දැනුම්දී තිබිබෙන බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මහාචාර්යවරයා සිද්ධිය වූ 2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවැති සම්මේලනයට ගොස් දිවා ආහාරය සඳහා නැවත නිවසට පැමිණෙන බව දියණියට දැනුම්දී තිබුණු බවත්, ඔහු නොපැමිණි හෙයින් මහාචාර්යවරයාගේ දියණිය සවස 2.45ට පමණ ඔහුට දුරකතන ඇමතුකම් ගන්නා විට දුරකතනය විනන්ධි කර තිබුණු බවත්, මහාචාර්යවරයාගේ දියණිය ඔහු රැගෙන ගිය රියදුරුට කතා කළ විට මහාචාර්යවරයාගේ දුරකතනය විනස්දි කර ඇතැයි ඔහුද දැනුම් දී ඇති බවත් 2006 දෙසැම්බර් 24 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
මහාචාර්යවරයා ගැන තොරතුරක් නැති නිසා මේ ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු ආයතනවලට පැමිණිලි කර පසුව සවස 7.00ට පමණ ඔහුගේ පවුලේ උදවිය දෙහිවල පොලිසියේ සීඅයිබී 2 225/260 අංක යටතේ පැමිණිල්ලක් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දින කිහිපයක් ඇතුළත අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණු අතර ඒවකට එහි අධ්‍යක්ෂවරයා වූවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර මෙන්ඩිස් මහතාය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළේ ද සිසිර මෙන්ඩිස් මහතාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ කරුණා අම්මාන් පාර්ශ්වයෙන් ආධාරකරුවන් යැයි සැක කරන පිරිසක් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවට තොරතුරු ඇති බවයි.
මෙම කාලවකවානුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය ගාමිණී සමරනායක මහතාය. තර්ජනය ඇති හෙයින් ඉල්ලා අස්වීම බාර ගන්නා ලෙස උපකුලපතිවරයා දැනුම්දි තිබියදීත් එය බාර නොගැනීම ගැන සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසීමකදී ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා කියා තිබුණේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් ඉල්ලා අස්වීම ගැන අවසන් තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා බවයි.
මෙම සිදුවීමත් සමග ඇතැම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු බියට පත්වීම සේවය පැමිණීම නතර කළහ. ඇතැම් සිසුසුහු ද විශ්ව විද්‍යාලයෙන් පිටවී ගියහ. මහාචාර්යවරයාගේ අතුරුදන්වීමෙන් දින තුනකට පසු ලොව පුරා සිටින විද්වත්හු 67 දෙනෙක්ගේ අත්සනින් ප්‍රකාශයක් නිකුත් කරමින් මහාචාර්යවරයා මුදා හරින ලෙස විවෘත ඉල්ලීමක් කළහ.
කෙසේ වෙතත් ඔහු සොයා ගැනීමට නොහැකි විය.
1951 පෙබරවාරි මස 22වැනිදා උපත ලද රවීන්ද්‍රනාත් මහතා අතුරුදන් වන විට 55 හැවිරිදි වියේ පසුවිය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසු මෙවැනි යටපත්වී තිබූ විමර්ශන කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ යළි අරඹන ලෙස දැනුම්දී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස විමර්ශන ආරම්භ වූ අතර ඒ අනුව ලැබුණු සාක්කි මත සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබිණි.
2005 වසරේ දෙසැම්බර් 25 වැනිදා මඩකලපුවේ ශාන්ත මේරි දේවස්ථානයේදී දේව මෙහෙයට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එනම් 2015 ඔක්තෝබර් 09 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබීය.
එම අත්අඩංගුවට ගැනීමෙන් පසු රිමාන්ඩ් බාරයේ සිටි ඔහුට ඇප නියම වූයේ 2020 නොවැම්බර් 24 වැනිදාය. ඔහුට ඊට අදාලව නඩු පැවරීමක් ද කර තිබුණු අතර 2021 ජනවාරි මස 11 වැනිදා මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී සුසෙයිදාසන් මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ පිල්ලෙයාන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ එම දැනුම්දීම මත ඔහු මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
කාලයක් පිල්ලෙයාන්ගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හන්සීර් අසාත් මවුලානා නම් පුද්ගලයා චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් ලබා දෙමින් පිල්ලෙයාන් සම්බන්ධ අපරාධ ගැනත්, පාස්කු ප්‍රහාරයට අදාලව ඔවුන්ගේ සම්බන්ධතා ගැනත් අනාවරණයක් කළේය. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතනයකට ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු පිල්ලෙයාන් නිදහස් කිරීමට අවශ්‍ය සැලසුම් කිරීම ගැන ද ඔහු ප්‍රකාශ කර තිබිණි.
1975 අගෝස්තු 18 වැනිදා උපතලද පිල්ලෙයාන් ළමා සොල්දාදුවකු ලෙස එල්ටීටීඊ සංවිධානයට 1990 වසරේදී අනියුක්තව දීර්ඝ කාලයක් කටයුතු කළ බව වාර්තාවේ. පසුකාලීනව ඇතිවූ අභ්‍යන්තර අර්බුදයක් හේතුවෙන් කරුණා අම්මාන් සමග එල්ටීටීඊ සංවිධානයෙන් වෙන්වූ ඔහු ශ්‍රී ලංකා රජයේ හමුදාවලට සහයෝගය දැක්වීය.
2004 වසරේදී පිහිටවනු ලැබ 2007 වසරේදී දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ ටීඑම්වීපී පක්ෂයේ උප නායකයා වූ පිල්ලෙයාන් 2008 වසරේ පැවැති නැගෙනහිර පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වී තේරී පත්වූ අතර 2008 මැයි 16 වැනිදා සිට 2012 සැප්තැම්බර් 18 තෙක් නැගනෙහිර පලාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඉන් පසුවද ඔහු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස දිගටම කටයුතු කළේය. ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටියදීම ඔහු 2020 මහ මැතිවරණයට ඉදිරිපත්වී පාර්ලිමේන්තුවට තේරීපත්වූ අතර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්වී පාර්ලිමේන්තුව විසිරුවාහරින තෙක් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
අදාල සමස්ථ පාර්ලිමේන්තු කාලයේදීම (වසර 04ක් තුල) දින 82ක් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ නැත. 2022 අප්‍රේල් 19 වැනිදා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිල්ලෙයාන් ග්‍රාමීය මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබණි. පසුගිය ජනාධිපතිවරණයේ දී පිල්ලෙයාන්ගේ සහයෝගය හිමිවූයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙතය.
Author – Tharindu Jayawardane