රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනප්‍රිය නොවන තීරණ රැසක්.. බලපෑම් නොතකා කටයුතු කරනවා.!

අද (20) නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේමෙරට රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය රජය ඉදිරියේ පවතින බවයි.

අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සිහපත් කළේය.

රාජ්‍යසේවයේ අවසාන අරමුණ හා ඉලක්කය පිළිබඳ වත්මන් තත්ත්වය සෑහීමකට පත් විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනයකින් සාධාරණ සේවයක් ලබා ගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු විශ්වාසය නොමැති බවත් රාජ්‍යක් ලෙස මුළු පද්ධතියම බිඳ වැටී ඇති බවත් පැවසීය.

ලෝකයේ සිදු වන වෙනස්කම් උකහා ගනිමින් ඒවා ගලපා ගනිමින්, තම ක්ෂේත්‍රයට නායකත්වය දෙමින් ජයග්‍රහණය සඳහා මෙහෙය වීමට සමත් වන පුටුවල හිස්කමක් ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ නිසා නිලධාරීන් 1500ක් පමණ ඉන්දියාවේදී පුහුණුව ලබා දීමට පසුගිය ඉන්දීය සංචාරයේදී එකඟ වූ බවද සිහිපත් කළේය.

සමහර ආයතන මෙන්ම තනතුරු පවා ගොඩනැඟුණේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක් බවත්, අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව පැවසූ ජනාධිපතිවරයා, මේ සඳහා නව ව්‍යුහයක් අවශ්‍ය වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුව තිබෙන බැවින් එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් මෙම කර්තව්‍ය සාර්ථක වන්නේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනතා අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා වැඩ කිරීමේදී යම් නිලධාරිකු අපහසුතාවකට, අයුක්තියකට, අසාධාරණයකට ලක් වන්නේ නම්, තමා එම පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යම් නිලධාරියකු එම කාර්යයන් කඩාකප්පල් කිරීමට, හිතාමතා අතපසු කිරීමට කටයුතු කරන්නේ නම් එයටද ඒ හා සමානව ක්‍රියාත්මක වන බවද පැවසීය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්ම මහත්මීන්, දිසාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.