පිල්ලෙයාන්ට උපදෙස් දෙන්න රනිල් අවස්ථාවක් ඉල්ලයි.. නීතීඥවරයා ලෙස ගම්මන්පිල ඉදිරිපත් වෙයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීම සඳහා සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා විසින් දැනට අත්අඩංගුවේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් සමග කතා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දුරකථනයෙන් අමතා අදාළ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බැවින් එම ඉල්ලීමට අවසර ලබානොදුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

අදාළ සැකකරුගේ නීතීඥවරයා ලෙස කටයුතු කරන තමන්ට ඔහු සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසමින් උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසෙයි.

ඒ අනුව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට උදය ගම්මන්පිල මහතාට අවස්ථාව ලබාදුන් බව ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එම සාකච්ඡාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ සිදුවූ බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණවලට අදාළව පසුගිය 08 වනදා සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදෙනු ලැබීය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments