By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස වන ආකාරයේ සමාජ මාධ්‍ය පෝස්ටුවක් ප්‍රචාරය කිරීමේ චෝදනාව මත, මිල්ලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (03) දින අලුයම, අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දින ගණනක් තිස්සේ රැක සිට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේදී 03 වන දින අලුයම කළ වැටලීමකදී සැකකරු අත්අඩඩංගුවට ගැනීමට හැකි විය.
මෙම පෝස්ටුව මගින් මන්ත්‍රීවරියට බරපතළ ලිංගික අපහාසයක් සිදුවී ඇති බවත්, මන්ත්‍රීවරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකළ පැමිණිල්ලක් මත අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටයුතු කළේය.
සැකකරු විසින් මෙම පෝස්ටුව ප්‍රදර්ශනය කළේ විනාඩි අටක් පමණක් බවත්, ඉන් පසුව එය ඉවත් කරගෙන ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වාදුන් අතර මෙය ඇප දිය හැකි වරදක් බැවින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, පැමිණිල්ල නැවත ජනවාරි 30 වන දා කැඳවීමට නියමිතයයි.
මීට පෙරදීත් හිටපු මන්ත්‍රීවරයා විසින් මෙවැනි පෝස්ටු පළකර ඇති බවත්, මෙය පස්වන අවස්ථාව බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී ඇත. මෙම සිදුවීම මන්ත්‍රීවරියට දැඩි මානසික පීඩාවක් ඇති කර ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා සායනවලට පවා යොමුවීමට සිදුවී ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.