ශ්‍රී ලංකාව නැවත ගොඩ නගන අරමුදලට රට විරුවෝ 19,000ක් මුදල් බැර කරති.!

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ (Rebuilding Sri Lanka) අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර ඇති බවයි.

ඉකුත් 2 දා වන විට මේ පිරිස මුදල් බැර කර තිබූ බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

විපතට පත් අයට සහායක් ලබාදීම සඳහා අවස්ථාවක් දෙන්නැයි විදෙස් ගත ලාංකිකයන් සිදුකල ඉල්ලීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙළ දෙකක් අනුගමනය කරමින් සිටින බව සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.

එහි පළමු වැඩසටහනට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන මූල්‍යමය සහාය වෙනුවෙන් ලංකා බැංකුවේ විශේෂ ගිණුම් අංකයක් ප්‍රකාශයට පත් කළ අතර දෙවන වැඩසටහන යටතේ මෙරටට භාණ්ඩ එවන පිරිසට අඩු ලියකියවිලි සංඛ්‍යාවකින් සහ කිසිදු ගාස්තුවකින් තොරව භාණ්ඩ එවීමේ ක්‍රියාවලිය පහසු කර තිබෙන බව කීය. එම භාණ්ඩ වලට අය කරන තීරුබදු සහ ගාස්තු ඉවත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් ස්ථාපිත කර තිබෙන බව කී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එබැවින් මෙරටට එවනු ලබන භාණ්ඩ ඉතා පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව සඳහන් කළේය.

මෙම පහසුකම ලැබෙන්නේ ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානයේ නමට භාණ්ඩ එවීමෙන් පමණක් වන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රේගු වෙබ් අඩවියේ දැනටමත් සඳහන් කර තිබෙන්නේ යැයිද ඔහු කීය.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments