සබරේ නවක වධකයෝ 4ක් රිමාන්ඩ් 11කට පන්ති තහනම්.!

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු නවක වධය හේතුවෙන් මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිසුන් සිව්දෙනා ඊයේ (04) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන මහරගම, ඇඹිලිපිටිය, වාරියපොළ හා හබරාදුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වෙනිදාය.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවය.

එවන් පසුබිමක ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

චරිත් සමග නවකවධයට ලක්වූ බව කියන සිසුන් 20 දෙනෙකුගෙන් සමනලවැව පොලීසිය පසුගියදා ප්‍රකාශ ද සටහන් කරගත්තේ එවන් පසුබිමකය.

අනතුරුව මෙම නවකවධ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනය වැඩබලන පොලිස්පතිවරයාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණි.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments