මැයි 09 සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ගැන සාගර අදහස් දක්වයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසූවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ඇතිකරපු දවස මැයි 09 දා බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (09 දා) ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,

“2022 මැයි 09 කියන්නේ මෑත ඉතිහාසයේ ලංකාවේ තිබුණු අඳුරුම දිනය ලෙස කියන්න පුළුවන්. හුදු තමන්ගේ දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේ පටු අරමුණින් ජනතාව නොමඟ යවලා මේ රටේ ආර්ථිකය කඩාවට්ටලා, කොවිඩ්වලට වහලා තිබුණු රටක්, ජනතාවගේ ජිවිත බේරගන්න උත්සහ කරපු නායකයෙක්ව පළවා හැරලා ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ඇතිකරපු දවස මැයි 09 දා. ඒ නිසා අපි අද මැයි 09දා මේ අරගලයේදී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන්ගේ ජිවිතය පූජා කරපු පාර්ලිමේන්තුවේ හිටපු අහිංසක මන්ත්‍රීවරයා ලෙස අමරකීර්ති අතුකෝරාල මැතිතුමා සිහිපත් කරනවා.

ඒ වගේම බේරේ වැවට දමලා වතුරේ ගිල්වලා තබලා ඊට දින කිහිපයකට පසුව මියගිය ඒ පාක්ෂිකයෝ සිහිපත් කරනවා. මහමඟ පහරදීලා දේශපාලන මතයක් දැරීම කියන කාරණය උඩ පහර කාපු ඒ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන් සිහිපත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75ක් සහ පළාත් පාලන මන්ත්‍රීවරු පන්සිය ගණනකගේ නිවාස ගිනිබත් කළ ඒ ම්ලේච්ඡ දිනයේදී ඉන් අගතියට පත්වෙච්ච කණ්ඩායම සිහිපත් කරනවා. තමන්ගේ පටු දේශපාලන අයිතින්, අරමුණු වෙනුවෙන් රටේ ජනතාවගේ හිත්වල වෛරය වපුරවලා මේ රටට විදේශ විනිමය එවන්න එපා කියලා ජනතාව පොළඹවලා, ඒ වගේම මේ රටට එන විදේශික සංචාරකයෝ නවත්වලා මේ රටේ ආර්ථිකය කඩාවට්ටපු ඒ අඳුරු දිනය සිහිපත් කරන දවස මැයි 09 දා. මේ අවස්ථාවේ මේ ආණ්ඩුවට සිහිපත් කරන්න කැමැතියි ඒ ඔබලාගේ බල පිපාසාව, බල තණ්හාව මත මේ රටේ ජනතාව වැරැදි මාර්ගයට යොමු කරලා, ජනතාවගේ හිතේ වෛරය පතුරවලා ජනතාව පාරට බස්සවලා ඒ කරපු මහා දැවැන්ත විනාශය මේ රටේ නැවතත් නොවෙන්න කටයුතු කරන්න.

ඒ වගේම අමරකීර්ති අතුකෝරල මැතිතුමාට සාධාරණය ඉටුකරන්න, එතුමා මහමඟ ම්ලේච්ඡ ලෙස මරා දමපු ඒ පිරිසව නීතිය ඉදිරියට පමුණුවන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම තමන් දරපු දේශපාලන මතය විතරක් පදනම් කරගෙන ඔවුන් ජිවිත කාලයේ අමාරුවෙන්, මහන්සියෙන් හම්බු කරලා ගොඩනගපු ඔවුන්ගේ නිවාස ගිනිබත් කළා. ඒ නිවාසවලට වන්දි ගෙවපු එක කියව කියව සිටින්නේ නැතිව ඒ නිවාස වලට ගිනි තිබ්බේ කවුද කියන කාරණය ජනතාවට එළි කරලා ඔවුන්ගෙන් ඒ මුදල් අයකරගන්න කටයුතු කරන්න”

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments