By unusuma.lk on
(LK time)මාතලේ මඩවල උල්පත ප්රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් එම්. යුගේස් නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකු පසුගිය (01) වනදා මිය ගියේය.
මෙම සිසුවා තම මිතුරාගේ පෙම්වතිය යැයි පැවසෙන 16 හැවිරිදි සිසුවිය හමුවීම සදහා ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමග යතුරු පැදියකින් එම ප්රදේශයට ගොස් ඇති අතර පසුව ඔවුන් නිවස අසල සිය යතුරුපැදිය නැවතීමත් සමග පෙම්වතියගේ සහෝදරියක් විසින් යතුරුපැදියේ යතුර රැගෙන ඇත.
අනතුරුව එහිදී ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් ඇතිවූ තත්ත්වයත් සමග දෙමස් ගැබිනියක් වූ සහෝදරිය බිම ඇද වැටීමෙන් කලබල වූ ඇයගේ සැමියා සිසුන් තිදෙනාට පහරදී ඇති අතර පසුව නිවස තුළ සිටි සිසුවියගේ පියා, තවත් සහෝදරියක් සහ ප්රදේශවාසීන් දෙදෙනෙකු මෙම ගැටුමට මැදිහත් වී ඇත.
අනතුරුව ඔවුන් පොලුවලින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදීමත් සමග එම සිසුවා බිම ඇද වැටී ඉන් බරපතළ තුවාල ලබා ඇති අතර පසුව මාතලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
එම සිසුවාගේ අනෙක් මිතුරන් දෙදෙනා රෝහල්ගතව ඇති අතර පහරදීමට අදාළව 16 හැවිරිදි සිසුවිය, ඇයගේ පියා, සහෝදරියන් දෙදෙනා, සහෝදරියකගේ ස්වාමිපුරුෂයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර සිසුවාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වූහ.