By unusuma.lk on
(LK time)මේ වනවිට අධි චෝදනා ගොනුකර ඇති අල්ලස් හෝ දූෂණ සිද්ධි සහ රජයේ මුදල් අවභාවිත කිරීමේ මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නීතිපතිවරයා විසින් හිටපු මැති ඇමැතිවරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩු කිහිපයක් මහාධිකරණ හමුවේ විභාග වෙමින් පවතී.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක
2016 වසරේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයකු ලෙස ක්‍රියා කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි නිවසක පදිංචිව සිටීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා කර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
අල්ලස් පනත යටතේ “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත. මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
මේ අතර 2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාර කිරීමට හෝ ඊට එකඟ වීම ඇතුළු චෝදනා මත පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (ජූනි 4) ඉවත දමනු ලැබීය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන, එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා
සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා යමින් රුපියල් කෝටි ගණනක දේපළ, රථවාහන මිලදී ගැනීම සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
2010 වසරේ මාර්තු 31 වැනිදා සහ 2012 වසරේ මාර්තු 31 වැනිදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් ලක්ෂ 800 කට අධික දේපළ හා මුදල් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
මෙම නඩුව ලබන 06 වැනිදා අධි චෝදනා බාරදීම සඳහා කැඳවීමට නියමිතයි.
ප්‍රසන්න රණවීර
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන එහි කඩකාමර ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සිදුකළ බව කියන මෙම නීති විරෝධී ක්‍රියාවට ආධාර අනුබල දුන්නේ යැයි ප්‍රසන්න රණවීරට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන
අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් මගින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35 ක සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබාදුන් රුපියල් කෝටි 12 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. මෙම නඩු විභාගය ආරම්භ වී ඇති අතර, වැඩිදුර නඩු විභාගය අගෝස්තු 07 වැනිදා දක්වා කල් තබා ඇත.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයථා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පසුගිය යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කළ නඩුවක් මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
නාමල් රාජපක්ෂ
රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ. එම නඩුවට අදාළ අධි චෝදනා පත්‍ර විත්තිකාර නාමල් රාජපක්ෂට බාර දී තිබේ. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූනි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයන් පිරිසක් එහි නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනු කර තිබේ. එම නඩුවලට අදාළ විභාගය මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී ඇති අතර ඉන් එක් නඩුවක් (ජූනි 04) දින විභාගයට ගනු ලැබීය. එම නඩුව ජූලි 07 යළි කැඳවීමට නියමිතයි.
හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර
පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නමැත්තකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානුකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
එහිදී විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර ඇත. එම නඩුව ලබන 06 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
2014 වසරේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
එම නඩුව මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන අතර, අගෝස්තු මස 28 වැනිදා එය යළි කැඳවීමට නියමිතයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක
දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සංවර්ධනය කර විකිණීම සඳහා තිබූ ඉඩම් කොටස්වලට නීති විරෝධී ලෙස පිඹුරුපත් සකස් කර රජයට රුපියල් තුන්ලක්ෂ හැත්තෑ තුන්දහස් අටසිය හැටක මුදලක් පාඩු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුවට අදාළව ඔහු මේ වන විට ඇප මත මුදාහැර සිටියි.
කෙහෙළිය සහ රමිත් රඹුක්වැල්ල
කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයන් 15 දෙනකු නාමිකව ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට ඉදිරිපත් වූ පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
එම චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් (ජූනි 03) නියම කරනු ලැබීය.
News Source – BBC