ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසූ හමුදා සෙබලාට හිමි වූ දඬුවම.!

හිටපු යුධ හමුද සෙබලෙකුට සහ මාළු වෙළෙන්දෙකුට අනුරාධපුර මහාධිකරණය විසින් වසර 30 බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.

ඒ 2013 වසරේදී උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස්ට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා සනාථ වීමෙන් පසුවයි.

කෙසේ වෙතත්, පළමු විත්තිකාර ආයුර්වේද වෛද්‍ය සුසිරි කුමාර වික්‍රමසිංහ නැමැත්තා නිදොස් කොට නිදහස කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම්, සැකකරු සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂන වාර්තා ලැබී තිබුණේ නම් ඔහු සම්බන්ධයෙන් ලබාදෙන නියෝගය මීට වඩා හාත්පසින්ම වෙනස් වන බවයි ප්‍රකාශ කළේය.

අනුරාධපුර පිහිටි නිල නිවසේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී තිබූ අතර, දඩුවම් නියම වූ විත්තිකරුවන් දෙදෙනා තම පියාට ප්‍රථිකාර ගැනීමට පැමිණි බව පවසමින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබුණා.

එම සැකකරුවන් සතියක් වැනි කෙටි කාලයක් තුළදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූ අතර, ඔවුන් විසින් ඇසිඩ් මිලදී ගත් වෙළඳසැල මෙන්ම, ප්‍රහාරය සදහා නිට්ටඹුවේ සිට අනුරාධපුරයට ඔවුන් පැමිණි යතුරු පැදියද සොයාගැනීමට හැකි විය.

පසුව උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස්ට පූර්ණ අන්ධභාවයට පත්කර මුහුණට සහ ශරීරයේ ස්ථාන රැසකට බරපතල තුවාල සිදු කර මරණයට පත් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට අධිචෝදනා දෙක බැගින් එල්ල වූ අතර, වසර 30 බැගින් ඔවුන්ට බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම විය.

ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කල මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් තවත් වසරක ලිහිල් සිර දඬුවම් නියම කළේය.

එමෙන්ම, පැමිණිළිකාර වින්දිත හිටපු උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට වෙන් වෙන් වශයෙන් මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවන ලෙසටද, විත්තිකරුවන් දෙදෙනාට නියෝග කල මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුවන්ට තවත් වසර 4 බැගින් වෙන් වෙන් වශයෙන් ලිහිල් සිර දඬුවම් නියම කරන බවයි කියා සිටියේය.

මින්නේරිය – හබරණ පාර මෙත්සුව ලිපිනයේ පදිංචිව සිටි සුසිරි කුමාර වික්‍රමසිංහ නැමති පළමු විත්තිකාර ආයුර්වේද වෛද්‍යවරයාගෙන් තමන්ට මරණීය තර්ජන සහ අභියෝග තිබූ බව නඩු විභාගයේදී පැමිණිළිකාර උතුරු මැද පළාත් හිටපු ආයුර්වේ ද කොමසාරිස්වරයා ප්‍රකාශ කළද, එම තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිළි කර තිබූ බවක් නඩු විභාගයේදී අනාවරණ නොවු බවද මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments