මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්.!

සමාජ මාධ්‍ය සහ අනෙකුත් අන්තර්ජාල වේදිකාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනවසරයෙන් භාවිතා කරමින් ව්‍යාජ රැකියා දැන්වීම් පළකර එහි රැකියා අවස්ථා ලබා දෙන බවට සිදුවන වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව මහජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

මහ බැංකුව පවසන්නේ සිය බඳවාගැනීම් සඳහා වෙනත් අන්තර්ජාල වේදිකාවන් තුළ සිය රැකියා දැන්වීම් පළ නොකරන අතර, සියලු නිල රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කරනු ලබන්නේ මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ “වෘත්තීය අවස්ථා” (Careers) යන කොටස යටතේ බවයි.

මෙවැනි වංචනික රැකියා දැන්වීම් සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත වාර්තා කරන ලෙස මහබැංකුව ඉල්ලා සිටී.

මෙම තත්ත්වය යටතේ මහජනතාව විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර කිහිපයක් මහ බැංකුව විසින් නිවේදනය කර ඇත.

1. රැකියා අවස්ථා සම්බන්ධ සියලු තොරතුරු සඳහා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය (www.cbsl.gov.lk) පමණක් භාවිතා කිරීම.

2. කිසිදු ආකාරයක මුදල් ගෙවීමක් සිදු නොකිරීම – මහ බැංකුව විසින් රැකියා අයදුම්පත් හෝ සම්මුඛ පරීක්ෂණ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව සැලකිය යුතුය.

3. පුද්ගලික බැංකු ගිණුම්, ජාතික හැඳුනුම්පත් අංක, මුරපද වැනි සංවේදී තොරතුරු කිසි විටෙක හුවමාරු නොකිරීම.

4. සැක සහිත දැන්වීම් හෝ ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් මහ බැංකුවේ නිල දුරකථන අංක හරහා විමසීම.

මෙම වංචනික ක්‍රියාකාරකම් නිසා පසුගිය මාස කිහිපය තුළ බොහෝ පුද්ගලයන් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බවත්, වංචනිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.