Attention (Sinhala)

19 හැවිරිදි පෙම්වතියගේ පිහි පහරින් විවාහකයා මරුට.!

19 හැවිරිදි පෙම්වතියගේ පිහි පහරින් විවාහකයා මරුට.!

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී වයස අවුරුදු 19ක තරුණියක් සිදුකළ පිහි ප්‍රහාරයකින් වයස අවුරුදු 31ක විවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

මොවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස වීරසේකරගම ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබා ගෙන එහි ජීවත්ව සිට ඇති නමුත් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් තරුණිය විසින් මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර මියගිය විවාහකයා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පිහි ප්‍රහාරයෙන් පසු එම පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවු මියගොස් ඇත.

සැකකාර තරුණිය හල්දුමුල්ල සොරගුනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක වන අතර වැල්ලවාය පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තරුණිය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

චමුදිතගෙන් පැය 4ක් පාස්කු ප්‍රහාරය ගැන දැන සිටි හැටි විමසයි.!

චමුදිතගෙන් පැය 4ක් පාස්කු ප්‍රහාරය ගැන දැන සිටි හැටි විමසයි.!

“Truth with Chamuditha” යූටියුබ් නාළිකාවේ පළවූ වීඩියෝවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පෙරේදා (25) පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස ඔහු මුදා හැරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි.

අසේල නුවන් රාජපක්ෂ නමැති අයකු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග “ටෲත් විත් චමුදිත” යූටියුබ් නාළිකාවේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ ලබාගෙන තිබේ.

ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව නැවත කැඳවීමක් ලැබුණහොත් පෙනීසිටින ලෙස ද එම කොට්ඨාසය ඔහුට දැනුම්දී ඇත.

මෙම සිද්ධියට අදාළව සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියි.

පොලීසිය වැඩ පෙන්වයි.. ලොකු අයියලා 167ක් ඇතුලේ.!

පොලීසිය වැඩ පෙන්වයි.. ලොකු අයියලා 167ක් ඇතුලේ.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා ඊයේ (26) පැවසූවේ රටේ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී ටී 56 ගිනි අවි 03 ක්, පිස්තෝල ගිනි අවි 03 ක් සමග අපරාධවලට ඍජුවම සම්බන්ධ සැකකරුවන් 167 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුකළ මෙම මෙහෙයුම්, දින 10ක් තුළ සිදු කළ වාර්තා සැලකිල්ලට ගැනීමේදී පුද්ගලයන් එක්ලක්ෂ හැත්තෑ දෙදහස් අටසිය හැත්තෑහත් දෙනකු (1,72,877) සහ රථවාහන හැටහතර දහස් දෙසිය පනස්අටක් (64,258) පරීක්ෂා කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම වාහන පරීක්ෂා කිරීම සිදු කළේ රථවාහන නිලධාරීන් සිදුකරන සාමාන්‍ය රාජකාරිවලට අමතරව බවත් ඒ මහතා සිහිපත් කළේය.

එමෙන්ම අධිකරණ වරෙන්තු මත සිටි 256 දෙනක් කේරළ ගංජා කිලෝ 462ක්, හෂීස් කිලෝ 15ක්, අයිස් කිලෝ 8 ක්ද මෙම මෙහෙයුම් අතරතුරදී අත්අඩංගුවට ගෙන තිබේ.

සීල් මූඩියෙන් ප්‍රකට නාමයෙන් තැබෑරුමට එන කසිප්පු.!

සීල් මූඩියෙන් ප්‍රකට නාමයෙන් තැබෑරුමට එන කසිප්පු.!

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් ඉකුත් සති අන්තයේදී නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හය දෙනකු සමඟ ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොග අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් සමඟ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ¼ මත්පැන් බෝතල් 4971ක් බෝතල් කිරීමට සකස් කර තිබූ මත්පැන් ලීටර් 228ක්, එතනෝල් ස්ප්‍රීත්තු ලීටර් 110ක් සහ අරක්කු බෝතල්වලට පුරවන සහ මූඩි සවි කරන නවීන මැෂිමක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මත්පැන් බෝතල්වල මූඩිවල ඇලවීමට සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් බලපත්‍ර සහිත මත්පැන් නිෂ්පාදනාගාරවලට පමණක් නිකුත් කරන තීරු කේත සහිත ව්‍යාජ ලෙස සකස් කරගත් ස්ටිකර් 4300ක් පිළිගත් මත්පැන් නිෂ්පාදන ආයතනයක නම සඳහන් ව්‍යාජ ලේබල් 8000ක් අත්අඩංගුවට ගෙන ඇති බව ජා – ඇළ සුරාබදු ස්ථානය සඳහන් කරයි.

ජා – ඇළ සුරාබදු කොට්ඨාසයට අයත් කිරිබත්ගොඩ මායා මාවතේ රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගත් සුපිරි දෙමහල් නිවෙසක මෙම මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත.

නීත්‍යනුකුලව දිවයිනේ පිළිගත් ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන ආයතනයක නමින් මෙහි මත්පැන් බෝතල් ලේබල් කර තිබූ බවද ජා – ඇළ සුරාබදු ස්ථානය සඳහන් කරයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා එම මත්පැන් ජා – ඇළ සුරාබදු ස්ථානයට භාරදී ඇති අතර සැකකරුවන් සහ භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජා – ඇළ සුරාබදු ස්ථානය පැවසූවේ, අත්අඩංගුවට පත් සැකකරුවන් කිරිබත්ගොඩ, නාරම්මල, පොල්පිතිගම, නාවලපිටිය සහ කළුතර පදිංචි 25 – 35 අතර වියේ පසුවන අය බව‍යි.

ඩිජිටල් පුනරුදය ගමින් ගමට.. රට වටා මධ්‍යස්ථාන 2,300ක්.!

ඩිජිටල් පුනරුදය ගමින් ගමට.. රට වටා මධ්‍යස්ථාන 2,300ක්.!

ඩිජිටල් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන ප්‍රමුඛ කාර්‍යක් වන ඩිජිට්ල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු නොබෝදිනකින් ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ (26) පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා එමඟින් පහසුකම් සැලසෙන බවත් දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකු බියවිය නොමැති බවත් එහිදී ජනපතිවරයා අවධාරනය කළේය.

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ඇතුලත් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ලේ යකා නැටූ සුද්දා සහ ටිල්ලා ගැන තවත් තොරතුරු.!

ගාල්ලේ යකා නැටූ සුද්දා සහ ටිල්ලා ගැන තවත් තොරතුරු.!

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන කරන්දෙනියේ සුද්දා හා රත්ගම ටිල්ලාගෙ බන්ධනාගාර ගත සමීපතමයන් අතර එම ගැටුම හටගෙන ඇති බව වාර්තා වෙයි.

ගාල්ල බන්ධනාගාරය තුළ කරන්දෙනියේ සුද්දාගෙ සමීපතමයන් 200 දෙනෙකු පමණ එහි ‘ඒ’ වාට්ටුවේත් රත්ගම ටිල්ලාගේ සමීපතමයන් 50 දෙනෙකු පමණ එහි ‘සී’ වාට්ටුවේ රඳවා සිටින බව පැවසේ.

පළමුව රත්ගම ටිල්ලාගේ සමීපතමයන් කිහිප දෙනෙකු කරන්දෙනියේ සුද්දාගේ සමීපතමයෙකුට පහරදී ඇති අතර පසුව කරන්දෙනියේ සුද්දාගේ සමීපතමයන් කිහිප දෙනෙකු රත්ගම ටිල්ලාගේ සමීපතමයන් කිහිප දෙනෙකුට පහරදී ඇත.

එහිදී තුවාල ලැබූ රත්ගම ටිල්ලාගේ සමීපතමයන් තිදෙනකු සහ කරන්දෙනියේ සුද්දාගේ සමීපතමයෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ගාල්ල ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

යෝෂිත අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන මැදිහත්වීම මනතුංග මහතා පහදයි.!

යෝෂිත අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන මැදිහත්වීම මනතුංග මහතා පහදයි.!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අවධාරනය කරයි.

ඔහු පැවසූවේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට අත්විලංගු නොදමනන ලෙස කිසිම මොහොතක පවසා නොමැති බවත් අමාත්‍යවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ ජනාධිපතිවරයා හෝ මෙහි විමර්ශන කටයුතුවලට මැදිහත්වී නොමැති බවයි.

අත්විලංගු භාවිත නොකළේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ නොකිරීමත් එම අවස්ථාවේ සිටි විමර්ශන නිලධාරියාගේ තීරණය අනුව බවත් ඊයේ (26) බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවැති මාධ්‍ය හමුවේදී මනතුංග මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත් විලංගු නොදැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසූවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ දෙහිවල පිහිටි නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවට ලද තොරතුරකට අනුව ඔහු බෙලිඅත්ත අධිවේගී පිටවීමේ පොලිස් මුරපොළ ආසන්නයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව මනතුංග මහතා පැවැසීය.

එමෙන්ම සමාජ මධ්‍ය තුළ සසරණය වන ඡායාරූපය අධිවේගී පිවිසුමේ ස්ථානයක ඔහු රඳවා තැබූ අවස්ථාවේ ඔහුගේ මිතුරෙකු විසින් ලබාගත් එකක් බවත් මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එක වී ඇටයක් දෙන් නෑ.. එස්.කේ.මහින්ද රජයට කොකා පෙන්වයි.!

එක වී ඇටයක් දෙන් නෑ.. එස්.කේ.මහින්ද රජයට කොකා පෙන්වයි.!

ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා පවසන්නේ ආණ්ඩුව වී සඳහා මෙතෙක් සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බවත්, පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම පැමිණ අමු වී කිලෝව රුපියල් 150-170 අතර මුදලකට ගනිමින් සිටින බවයි.

එබැවින් පුද්ගලික අංශයට වී දෙනවා මිස තුට්ටු දෙකට මිලදී ගැනීමට බලා සිටිනා රජයට ලබා නොදෙන බවත් ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා,

“මේ වන විට බදගිරිය හා වලව කලාපයේ ඇතැම් කුඹුරුවල අස්වනු නෙළමින් තිබෙනවා පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම ඇවිත් වැඩි මිලට වී මිලදී ගන්නවා.

ගොවියා බලන්නේ තමන්ගේ අස්වැන්න වැඩි මිලකට අලෙවි කර ගන්නයි. මේ දිනවල අස්වනු නෙළන කුඹුරුවල වී පුද්ගලික අංශයෙන් වී කිලෝව රු.170 අරන් වේලලා හාල් කිලෝව රුපියල් 290-300 අතර මුදලකට විකුණනවා ආණ්ඩුවට මේක නවත්තගන්න බැරි එකේ කොහොමද වී වලට සහතික මිලක් දෙන්නේ. මේ අය විපක්ෂයේ ඉන්න කාලේ කියපු එකක්වත් බලයට ආවම කළේ නෑ.

දැන් රටේ වී අස්වනු නෙළමින් ඉන්නේ. ඉතින් රජය තවම කල් මරමින් ඉන්නවා වී සඳහා සහතික මිලක් ගන්න. මේ වෙන කොට මාධ්‍ය මගින් අපි දැක්කා රජය වී 130 විතර ගන්න හදනවා කියලා අපි වලව ගොවියෝ හැටියට කියනවා ගොවියගේ මේ අස්වැන්න තුට්ටු දෙකට ගන්න නම් රජය හදන්නේ එක වී ඇටයක් අපි රජයට දෙන්නේ නෑ.

ආණ්ඩුවේ ගබඩා වලින් වී ගන්නේ කබලේ දමලා බැද්ද වගේ වේලුවට පස්සේ. ඒ විතරක් නෙමේ ආණ්ඩුවේ ගබඩාවට වී ටික අරගෙන ගිහින් දවස් ගානක් පෝලිමේ ඉදලා ඒකේ සල්ලි ටික ගන්නත් තව දවස් ගානක් එ් අයගේ පස්සේ යන්න ඕනේ.

හැබැයි පුද්ගලික අංශය එහෙම නෑ. ඒ අය කුඹුරටම ඇවිත් තෙත බරෙන්මයි වී මිලදී ගන්නේ. වී කිලෝවක් 150-170 අතර මුදලකට. එතකොට ගොවියට වී වේලන කම්කරු කුලියත් කාලයත් දෙකම ඉතුරුයි.

ලොකු ලාභයකුත් ඇවිත් පුද්ගලික අංශයෙන් අමු වී ටික ගෙනිහින් වේලලා කොටලා වෙළෙඳපොළට දමනවා. ඇයි ආණ්ඩුවට බැරි මේ වේදයේ වැඩ පිළිවෙළක් හදන්න. ගොවියා ණය වෙලා මේ කුඹුරු කරලා තියෙන්නේ.

මේවගේ අස්වනු නෙළන කොට ණය කාරයෝ පස්සෙන් වනවා. ඒවා ගෙවන්න ඕනේ.ඒ නිසා ගොවියට වී රික විකුණන කොට එවෙලේ අතට සල්ලි ලැබෙන්න ඕනේ. ආණ්ඩුව මාධ්‍ය ඉස්සරහ ඉඳගෙන කයිවාරු ගැනුවට එක නිලධාරියෙකුවත් තවම ගොවි බිමකට ඇවිත් මේ ගැන හොයලා බලලා විමසලා නෑ.ගොවියගෙ දුක මේ ආණ්ඩුවටත් අද අමතක වෙලා තියෙනවා.

පසුගිය දින පැවති හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටුවේදීත් මේ වී මිල සම්බන්ධයෙන් සාකච්ජා වුණා.එහිදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා කිව්වේත් ඉදිරියේදී වී සඳහා ස්ථාවර මිලක් නියම කරන්න රජය බලාපොරොත්තුවෙන් ඉන්න බවයි.පුද්ගලික අංශයේ අය වී මිලදීගෙන ඉවර වුණාම රජය වී වලට සහතික මිලක් නියම කරලා වැඩක් නෑ. ආණ්ඩුවෙන් වී ගත්තත් ගන්නේ එක් ගොවියෙකුගෙන් සීමා සහිත වූ කිලෝ ප්‍රමාණයක් විතරයි. ඒකේ සල්ලි ගන්නත් පෝලිමේ ඉන්න ඕනේ.

ගොවියගේ ඉතුරු වෙන වී ටික පුද්ගලික මෝල් හිමියන්ට දෙන්න වෙන්නෙ. එහෙම බැලුවම වී ටික එක සැමම පුද්ගලික අංශයෙන් වන ව්‍යාපාරිකයාටම දෙන එක ගොවියට වාසියි. ආණ්ඩුවෙන් වී ගත්තත් ඒවා කොටලා වෙළෙඳ පොළට වවන්න පුද්ගලික අංශයේ සහාය ගන්න වෙනවා.ඒ නිසා අපි රජයට කියනවා වහාම වී සඳහා සහතික මිලක් නියම නොකර මේ වීදියට කල් මරමින් ඉන්නවා නම් අපි රජයට එක් වී ඇටයක්වත් දෙන්නේ නෑ.”

ආශුට අලියා පයින් ගහලා.!

ආශුට අලියා පයින් ගහලා.!

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසන්නේ තමා එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් ඉවත් කොට ඇති බවයි.

ආශු මාරසිංහ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසර වෙනුවෙන් ඔහුගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කර නොමැති බව ඔහු පවසයි.

මහ මැතිවරණයට පෙර සිටම එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය පක්ෂය සමඟ එකට එක්විය යුතු යයි තමන් ඇතුළු පක්ෂයේ පිරිසක් දැඩි ස්ථාවරයක සිටි බවත් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප පක්ෂයේ කිහිපදෙනෙකු එයට දැඩි ලෙස විරුද්ධ වූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී පවසයි.

ඒ සම්බන්ධයෙන් මත ගැටුමක් පැවතිය නමුත් තමන් කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කළේ කුමන හේතුවක් නිසාදැයි මේ දක්වා තමන් දැනුවත් කර නොමැති බවත් ඔහු පවසයි.

පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ඇයද යම් ගැටළුවක් ඇති බව සඳහන් කළ ද එය කුමක්දැයි තමන්ට හෙළි නොකළ බව මාරසිංහ මහතා මෙම සාකච්ඡාවේදී සඳහන් කරයි.

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක්.! [Breaking News]

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක්.! [Breaking News]

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසා සිටියේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන බවයි.

මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතකර ඇත.

We are happy to invite you.