Attention (Sinhala)

විමර්ශන ඇරඹෙයි.. නාමල්ගේ වාරය පැමිණෙයි.!

විමර්ශන ඇරඹෙයි.. නාමල්ගේ වාරය පැමිණෙයි.!

අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීම හරහා රුපියල් මිලියන 70ක් මුල්‍ය වංචාවක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව යළි කැඳවනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර මේ වනවිට ඇප මත මුදා හැර සිටින අතර නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේය.

කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ක්‍රීෂ් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි මස 04 වනදා යළි කැඳවීමට නියෝග කළේය.

කෙඳිරිලි ඉවරයි.. දවස් 2ට 30ක් ගොඩ දායි.!

කෙඳිරිලි ඉවරයි.. දවස් 2ට 30ක් ගොඩ දායි.!

යුද හමුදා මුලස්ථානය පවසන්නේ ජනපතිවරයාගේ තීරණයකට අනුව දිවයින පුරා වී ගබඩා පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් සඳහා යුද හමුදා සහයෝගය ලබාදීම යටතේ දින දෙකකදී ගබඩා 30 ක් සකස් කර අවසන් කර ඇති බවයි.

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය යටතේ ඇති වී ගබඩා සංකීර්ණ තුනක්, වන්නි යටතේ ඇති වී ගබඩා 10ක්, නැගෙනහිර බල ප්‍රදේශයේ ඇති වී ගබඩා සංකීර්ණ 3ක්, ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ඇති වී ගබඩා 05ක් සහ ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයට අයත් වී ගබඩා සංකීර්ණ 09ක් මේ වනවිට සම්පූර්ණයෙන් පිළිසකර කටයුතු අවසන් කර තිබේ.

යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය යටතේ දිවයින පුරා වී ගබඩා පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතය හරහා රජය සතු වී ගබඩා 209 ක් පිළිසකර කිරීමට සැලසුම් කර තිබෙන බවත් අදාළ කටයුතු මේ මස 27 වන දින වන විට අවසන් කිරීමට ද යුද හමුදාව සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

මහින්දගේ කරදඬු උස් දරුවන්ට නලින්දගෙන් දැනමුතුකමක්.!

මහින්දගේ කරදඬු උස් දරුවන්ට නලින්දගෙන් දැනමුතුකමක්.!

පසුගිය දිනක හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන් අතර ඊයේ (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද මේ පිළිබඳව අවධානය යොමුවිය.

එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ රජය දැනුම් දෙන තෙක් නොසිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැන්ම නිවසින් ඉවත්විය හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.

මේ පනතේ ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුයි පනතේ තියෙනවා.

මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්. එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”

කිකුත් කර ඇති වාහන පර්මිට් 20,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

කිකුත් කර ඇති වාහන පර්මිට් 20,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

මෙවර වාහන ආනයනේදී වාහන තීරු බදු සහන බලපත්‍ර සඳහා අවසර ලබා නොදෙන බවත් ඉදිරියේදී ඒ ගැන සලකා බලය හැකි බවත් ජනපතිවරයා පවසයි.

ඊයේ (22) දිනයේ සිරස නාලිකාවේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ වනවිට නිකුත්කර ඇති ඇති වාහන බලපත්‍ර 20,000කට අධික සංඛ්‍යාවක් ඇති බවත් එම බලපත්‍ර ලාභීන්ට ඉදිරියේදී යම්කිසි වැඩපිළිවෙලක් යටතේ සහන සැලසීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වාහන මිලට හරියටම සිදුවන දේ හරිම කෙනා පහදයි.!

වාහන මිලට හරියටම සිදුවන දේ හරිම කෙනා පහදයි.!

පෙබරවාරි මාසයේදී වාහන වෙළඳපළ යළි විවෘත කිරීමෙන් පසු වත්මන් වෙළඳපොලේ පවතින වාහන මිල සහ ආනයනික වාහන මිල අතර සැලකියයුතු පරතරයක් පවත්වාගැනීමට අදහස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ සිරස සටන වැඩසටහනට එක්වෙමින් පැවසීය.

ඉන් අනතුරුව ක්‍රමිකව වෙළඳ වල හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරමින් බදු සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

එහි අරමුණ වනුයේ වසර ගනනාවකින් පසු විවරවන වාහන වෙළඳපොල හරහා පළමු මාසයේදීම ඩොලරය මත වැඩි තෙරපුමක් ඇති නොකිරීම බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙරට තුළ දැනට පවතින දෙවන පෙළ වාහන වෙළඳපළේ මිල විශාල ප්‍රමාණයකින් අඩු වුවහොත් එය බැංකු පද්ධතිය ඇතුළු මුල්‍ය ආයතන අර්බුදයකට පත්කරනු ඇති බවද ජනපතිවරයා පැවසීය.

ඉහත සියළු කරුණු සැළකිල්ලට භාජනය කරමින් ක්‍රමානුකූලව වාහන මිල ගණන් අඩු කිරීමට හැකි බව ජනපතිවරයා සිහිපත් කළේය.

කියන දේ අහන්නේ නැත්තම් හමුදාව යොදවනවා.!

කියන දේ අහන්නේ නැත්තම් හමුදාව යොදවනවා.!

විදෙස්ගතව සිටින ප්‍රබල අපරාධකරුවන් 65 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

අපරාධ මර්දන පියවරක් ලෙස හඳුනා ගත් බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

එලෙස අනුයුක්ත කෙරෙන විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මාස තුනෙන් තුනට වෙනස් කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

මේ අතර රජයේ ක්‍රියාත්මක සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

සටන විශේෂ වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

ලොකු ෆයිල් 29,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

ලොකු ෆයිල් 29,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විවිධ අපරාධ සම්බන්ධයෙන් ලිපිගොනු 29,000ක් පවතින බවත් ඒවා අතුරින් මූල්‍ය අපරාධවලට සම්බන්ධ සියලු ගොනු මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත භාර දී කඩිනම් විමර්ශන සිදු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරි සති දෙකක කාලය තුළ යලි ආරම්භ කරන බවත් කාලයේ වැලි තලාවට යටවී තිබූ සියලු අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් සිදුකරන බවත් ඇමැතිවරයා අවධාරණය ක්ළේය.

“අපි භාර ගත්තේ මොන වගේ පසුබිමක් යටතේ තිබුණු රටක් ද කියන එක අපි තේරුම් ගත යුතුයි. ඇති තරම් අපරාධවලින් මේ රට තෙත්වී තිබුණා. අපි භාරගත්ත රට අපි යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා යනු වත්මන් රජයේ ප්‍රධාන වැඩසටහනක්.

වැවක් පිරිසිදු කිරීම, මාර්ග අනතුරු අවම කර ගැනීම, කැළි කසළ පිරිසිදු කිරීම ආදියට පමණක් ලඝු කරමින් මෙම වැඩසටහන හෑල්ලුවට ලක්කළා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යනු ආර්ථික හා භෞතික සංවර්ධනයෙන් ඔබ්බට ගිහින් මහජනයාගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම සඳහා එක් පැත්තකින් සමාජීය හා පාරිසරික වශයෙනුත් නව වෙනස්කම් ඇති කරමින් ශ්‍රී ලාංකේය සමාජ ප්‍රමිතියක් සහිතව රට ගොඩගැනීම වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහනක්.”

මේ සඳහා සියලු අමාත්‍යාංශ, ආයතන, ප්‍රජා සංවිධාන, ව්‍යාපාරිකයින් රාජ්‍ය නොවන සංවිධාන, පොදු මහජනතාව ආදි වශයෙන් වූ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන වැඩසටහනක්. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ලබාදීම වෙනුවෙන් සිදුකරන පුළුල් සමාජ පරිවර්තනයක් සහිත වැඩසටහනක්. සමස්ත සමාජ ක්‍රියාවලිය තුළම පරිවර්තනයක් ඇති කිරීම මෙහි අරමුණයි. මේ සඳහා වැඩපිළිවෙළක්, දැක්මක්, මාර්ග සිතියමක් ඇතිවයි ආරම්භ කළේ. මේ වැඩසටහනට දැක්මක් වැඩපිළිවෙළක් නැහැ කියලා කාටවත් කියන්න බැහැ.

මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පිළිතුරු දිය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. අල්ලස දූෂණය, පාතාලය, මැරකම් ආදි බොහෝ දේවල් ගැන කතා කරනවා. කියන්න සතුටුයි මේ වෙනකොට පොලිසිය දේශපාලනීකරණයෙන් තොර ආයතනයක් බවට පත් කිරීම වෙනුවෙන් අපි කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ හැකියාව, දැනුම ආදිය පදනම් කරගනිමින් අවස්ථාව ලබාදීමට අපි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මේ මාස දෙක තුන ඇතුළත අපි සුවිශේෂ කාර්ය භාරයක් ඉටුකර තිබුණා. එසේ තිබියදීත් නාමල් රාජපක්ෂ මහතා වැනි අය විවිධ මතවාද සමාජ ගතකිරීමට උත්සාහ කළා. මහජනයාගේ අනුමැතියෙන් තොරව කිසිවක් අපි සිදුකරන්නේ නැහැ. ජන සහභාගිත්වය ඇතිවයි අපි සියල්ල සිදු කරන්නේ. ඒ නිසා මේ වැඩසටහන ලඝු කරන්න එපා. සමස්ත වැඩපිළිවෙළ අගය කළ යුතුයි.

පොලීසිය ගත් යම් යම් ක්‍රියාමාර්ග නිසා මාර්ග අනතුරු යම් ප්‍රමාණයකින් අඩුවී තිබෙනවා. සමහර දවස්වල දිනකට හය හතක් මාර්ග අනතුරුවලින් මිය යනවා. ඒ වගේම මාර්ග අනතුරුවලින් මියයන පිරිස අඩුකර ගත යුතුයි. අපි අනුගමනය කළ විවිධ ක්‍රියාමාර්ග නිසා දිනකට මියයන ගණන දෙක තුනක් දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.

මේ රටේ ජනතාව හා ආයතන තම තමන්ට හැකි පමණින් මෙය අවබෝධ කර ගත යුතුයි. මේ රට අපරාධ දේශයක් බවටයි පත්ව තිබුණේ. අපරාධ මර්දනයට විශාල පිරිසක් සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කරනවා. නමුත් මේ අපරාධවලට සම්බන්ධ සුළු පිරිසක් නිසා ආරක්ෂක අංශවල කීර්තිනාමයත් විනාශ වෙනවා. යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් හය දෙනෙක්, පොලීසියේ කෙනෙක්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක්, ඊට අනුබල දුන් තවත් 15ක් වශයෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ දින කිහිපය තුළ ආයුධ ලෙස අපි ටී 56 අවි 07ක්, පිස්තෝල 10ක්, රිවොල්වර 17ක්, ඇතුළු ආයුධ බොහෝ ප්‍රමාණයක් ‌ සොයාගෙන තිබෙනවා. කේරල ගංජා, කොකේන්, අයිස් කිලෝ විශාල ප්‍රමාණයක් වශයෙන් මත්ද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක් මේ මාස දෙක තුන තුළ සොයාගෙන තිබෙනවා. රජයක් ලෙස අපි පොරොන්දු වෙනවා, කාලයේ වැලිතලාවට යටවී තිබු සියලු අපරාධ සම්බන්ධයෙන් අපි විමර්ශන සිදු කරනවා. මෙතන කතා වුණා ෆයිල් හාරසිය, පන්සියය ගැන. නමුත් මම කිව යුතුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ෆයිල් 29000ක් තිබෙනවා. මූල්‍ය අපරාධ කොට්ඨාසය තව සති දෙකක් තුළ ආරම්භ කරලා මූල්‍ය අපරාධවලට සම්බන්ධ ෆයිල් එම අංශයට ලබා දෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි සාධාරණය ඉටුකරනවා. මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඬලීම වෙනු‍ෙවන් අපි විශේෂ කාර්ය භාරයක් ඉටුකරනවා.

දළඳා පෙරහැර නතර කළාට මිලියන 200ක වන්දියක්.!

දළඳා පෙරහැර නතර කළාට මිලියන 200ක වන්දියක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් ජාතික ජන බලවේගයේ රජ‍යක් බලයට පත් වුවහොත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වීම නවත්වන බවට ප්‍ර‍කාශ කරමින් සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ගොනුකර ඇති නඩුවේ උත්තර බැඳීම ලබන ජුනි 03 වැනිදාට සිදු කරන ලෙස කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය වගඋත්තරකාර පාර්ශ්වයට ඊයේ (21) නියම කළාය.

මෙම නඩුව ඊයේ (21) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් තමන්ට උත්තර බැඳීමට අමතර කාලයක් ඉල්ලා සිටි අතර ඒ අනුව ලබන ජුනි මස 03 වැනිදාට පැමිණිල්ල සම්බන්ධයෙන් වන පිළිතුරු ගොනු කිරීමට අධිකරණයෙන් වගඋත්තරකරුවන්ට දින නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඉකුත් අගෝස්තු 19දා මාවනැල්ලේ පැවැති රැස්වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අසත්‍යය හා ද්වේශසහගත ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මෙම නඩුව ගොනු කර තිබිණි.

පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණයට ගොනුකර ඇති තොරතුරු අනුව මෙම නඩුවේ දෙවැනි වගඋත්තරකාර රූපවාහිනි සමාගම මෙම සිද්ධිය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ප්‍රකාශ කර, අනතුරුව පසුදා උදෑසන පුවත්පත් සිරස්තල වැඩසටහන ඔස්සේ ද විකාශය කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරියක හා දේශපාලන ක්‍රියාධරයකු ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ගොඩනඟාගෙන ඇති කීර්තිනාමයට හානි වන ආකාරයේ ද්වේශසහගත ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුගෙන් හා එය විකාශනය කළ පෞද්ගලික මාධ්‍ය නාළිකාවකින් රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබේ.

විද්‍යා හා තාක්ෂණ ඇමති, පට්ටම් ගලවයි.!

විද්‍යා හා තාක්ෂණ ඇමති, පට්ටම් ගලවයි.!

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ (21) ඉවත් කර ඇත්තේ අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව බ වාර්තා වේ.

ක්‍රිෂාන්ත අබේසේන මහතාගෙන් පවසන්නේ මහාචාර්ය තනතුරක් දැරුවද දැනට තමා විශ්ව විද්‍යාල සේවයේ නොමැති හෙයින් එම නාමය පාවිච්චි නොකිරීමට තීරණය කළ බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවල හෝ කිසිදු නිල ලියකියවිල්ලක තමා මහාචාර්ය පදවිය සඳහන් නොකරන බවද අවධාරණය කළේය.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් වීම සම්බන්ධයෙන් රහස් පොලීසිය සිදුකරනු ලබන විමර්ශන තවදුරටත් අවසන් වී නොමැති බව වාර්තා වේ.

පොල් මිලියන 200ක් ආනයනයට පියවර.!

පොල් මිලියන 200ක් ආනයනයට පියවර.!

ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් මහතා පැවසූවේ ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ඔහු පවසන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බවත් පැවසූ සභාපතිවරයා දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බව අවධාරණය කළේය.

පොල් ගෙඩි මිලියන 200ට සාපේක්ෂව පොල් කිරි, පොල් මද, වියළි පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව රජයට යෝජනා කළ බවත් ඔහු කියා සිටියේය.

මේ අතර පොල් පොහොර කිලෝ 50ක ඇසුරුමක් රු 1,500 සිට රුපියල් 12,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් පොල් වගාවට පොල් පොහොර දැමීම සිදුකරන්නේ වගාකරුවන් සියයට 10කට අඩු සංඛ්‍යාවක් බවද එය පොල් හිඟයට ප්‍රධානත්ම හේතුව බවත් ඔහු පැවැසුවේය. 

මෙයට විසඳුමක් ලෙස කිලෝ 50ක පොල් පොහොර බෑගයක් අවම වශයෙන් රුපියල් 4,000ක මිලකට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ සභාපතිවරයා එළැඹෙන අයවැයෙන් පොල් පොහොර මිල අඩු කිරීමට නියමිත බව ද කියා සිටියේය.

එමෙන්ම පොල් වගාකරුවන්ට ජලසම්පාදනයට සහ පස සංරක්ෂණය සඳහා සහනාධාරයක් ලබාදෙන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය

We are happy to invite you.