Attention (Sinhala)

පොලිස් දැළ පළල් වෙයි.. දැළේ හිල් සිහින් වෙයි.!

පොලිස් දැළ පළල් වෙයි.. දැළේ හිල් සිහින් වෙයි.!

ශ්‍රී ලංකා පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වර්තමානය වනවිට ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්න වන අතර එම නිලධාරින් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනය යන මෙහෙයුම් වල නිරතව සිටි.

ඒ සියලු කටයුතු සිදුකිරීමට දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය (17) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වැඩබලන පොලිස්පතිවරයාද මේ බව තහවුරු කළේය.

ඔහු පැවසුවේ, නිලධාරීන් විශ්‍රාම යාම, රාජකාරියේ නිරතව සිටින නිලධාරීන් හදිසියේ ජීවිතක්ෂයට පත්වීම ඇතුළු විවිධ හේතූන් මත මෙලෙස පොලිසිය තුළ නිලධාරී හිඟයක් පවතින බවයි.

-Dinamina-

ජනපතිගෙන් නියෝගයක්.. ත්‍රිවිධ හමුදාව වැඩට බහී.!

ජනපතිගෙන් නියෝගයක්.. ත්‍රිවිධ හමුදාව වැඩට බහී.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත්තේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙසයි.

දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209ක් පමණ පවතින අතර සතොස සතුව ගබඩා 12ක ප්‍රමාණයක් පවතී. එම ගබඩාවන්හි පවතින අඩුපාඩුකම් හා ගතයුතු පියවර මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවත් රජය පාර්ශවයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කටයුත්ත කාර්‍යක්ෂම කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයත්, තාක්ෂණික දැනුම සහ එම කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමටත් රජයේ අවධානය යොමුව ඇත.

එමෙන්ම අස්වනු නෙළන කාලය වනවිට ගබඩාවන්හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමකර මහ කන්නයේ අස්වනු මිලදී ගැනීම සඳහා සූදානම් කිරීමටත් වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්ෂාව සැපයීමටත් ආරක්ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළ කර ඇත.

කිව්වොත් කිව්වා.. එහෙනම් මහතුනේ හැප්පිලා බලමු.!

කිව්වොත් කිව්වා.. එහෙනම් මහතුනේ හැප්පිලා බලමු.!

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ මුහුණදීමට සිදුවූ පළමු අභියෝගය වූයේ සහල් පිළිබඳ අර්බුදයයි. එම මොහොත දඩ මීමා කරගත් මෙරට මහාපරිමාන සහල් ව්‍යාපාරිකයන් ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඉන් අසීමිත ලාභ ඉපයූ බව නොරහසක්.

පසුව ගැටළුව නිරාකරණය කිරීම සඳහා ජනපතිවරයාට පවා කිහිප අවස්ථාවකදී මැදිහත්වීමට සිදුවූ අතර ඉන් තත්වය යම් පාලනයකට ගෙන ඒමට හැකිවූවත් ඇතැම් මහාපරිමාණ ව්‍යාපාරිකයින් රටේ නීතිය පවා ඉවත දමමින් සිට පටු ලාභ අරමුණු උදෙසා කටයුතු කළහ.

කෙසේවෙතත් ඉන්පසු සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපතිවරයාට සිදුවූ අතර ඊට විපක්ෂ දේශපාලන පක්ෂ විසින් දැවැන්ත අවලාද නැඟීමටද අමතක නොකළහ.

කෙසේවෙතත් මෙම අර්බුද මැද ජනපතිවරයා අවධාරණය කර සිටියේ එළඹෙන කන්නයේ සිට නියත වශයෙන්ම මෙම සහල් අධිකාරිය බිඳ දැමීමට අවශ්‍ය සියළු තීරණ ගන්නා බවයි.

එමෙන්ම සහල් යනු මෙරට ජාතික ධනයක් මිස හුදු ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ පුද්ගලික බූදලයක් නොවන බවද ජනපතිවරයා සිහිපත් කළේය.

එහිදී වී අලෙවි මණ්ඩලය හරහා රජය විසින් සහල් වෙළඳපොලේ කොටසක් අත්පත් කරගැනීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

ජනපතිවරයාගේ එම දැක්ම යථාවත් කරමින් මෙවර වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති පසුභිමක කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් කියා සිටියේ, රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බවයි.

එමෙන්ම තම අස්වැන්නෙන් යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සඳහා ද ගෙනවිත් භාරදෙන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වනවිටත් ඇතැම් දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් තවත් සති දෙකක් ඇතුලත සහල් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ක්‍රියාවලිය හරහා වී අස්වැන්නෙන් සැළකියයුතු කොටසක් රජය අත් පත් කරගනිමින් ඒ හරහා සහල් ඒකාධිකාරිය බිඳහෙලා ජනතාවට හිඟයකින් තොරව නිසි මිල ගනන් යටතේ සහල් ලබාදීම ‍රජයේ අරමුණ බව පැහැදිලි වේ.

අතිරික්තය 997යි.. අතිකාලය 632යි.. වරාය හමාර කළේ මෙහෙමයි.!

අතිරික්තය 997යි.. අතිකාලය 632යි.. වරාය හමාර කළේ මෙහෙමයි.!

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාව අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවැති අංශවල සේවකයන් සඳහා 2023 වර්ෂයේ දී අතිකාල දීමනා වශයෙන් රුපියල් දෙසීය අනූ දෙකෝටි, හය ලක්ෂ හැත්තෑනම දහස් දෙසිය අසූ අටක මුදලක් (2,920,679,288) ගෙවා ඇති බව සඳහන් වේ.

එමෙන්ම රුපියල් හයසිය තිස්එක් කෝටි, අනූනම ලක්ෂ හතළිස් හය දහස් හයසිය අසූ එකක් (6,361,046,681) ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2023 වර්ෂයේ දී සමස්ත අතිකාල දීමනාව ලෙස අධිකාරියේ සේවකයන් සඳහා ගෙවා ඇති අතර වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධතාවයක් නොදක්වන අංශ හතක සේවකයන් 187 දෙනකුගේ අතිරික්තයක් පැවැති බවද එම විගණන වාර්තාවේ දැක්වේ.

එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොට්ඨාස 35 මගින් ඉදිරිපත් කරනු ලැබූ කාර්යමණ්ඩල තොරතුරු අනුව තනතුරු 187කට අදාළව අනුමත කාර්යමණ්ඩලය ඉක්මවා සේවකයන් 997 දෙනකු සේවයේ යොදවා ඇති බව වැඩිදුරටත් සඳහන්.

ලැසිස්තුවේ 63යි අතේ 4යි.. දැනට එපමණයි, මනතුංග මහතා කියයි.!

ලැසිස්තුවේ 63යි අතේ 4යි.. දැනට එපමණයි, මනතුංග මහතා කියයි.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා දිවයින ඉරිදා පුවත්පතට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ පොලිසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හතර දෙනකු (පොඩි ලැසීට අමතරව) ජාත්‍යන්තර පොලිසිය මගින් ඩුබායි සහ තවත් රටවල් තුනකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ආරක්ෂක හේතුන් මත එම සැකකරුවන් නම් ගම් හෙළිකිරීමට නොහැකි බවද ද මනතුංග මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාවේ සිට පිටරටවලට පැනගිය අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුව ජාත්‍යන්තර පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් අල්ලා ගැනීමේ මෙහෙයුම් ජාත්‍යන්තර පොලිසිය අදාළ රටවල් සමඟ ඒකාබද්ධව දිගින් දිගටම සිදුකරගෙන යන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා අපරාධකරුවන් 63 දෙනකුට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත්කර ඇති බවද ඔහු පවසයි.

මහජන සේවය බල්ලට දමා සල්ලි පැටව් ගස්සලා.. පළාත් පාලනයේ කෙරුවාව මෙන්න.!

මහජන සේවය බල්ලට දමා සල්ලි පැටව් ගස්සලා.. පළාත් පාලනයේ කෙරුවාව මෙන්න.!

පළාත් පාලන ආයතන විසින් රුපියල් මිලියන 26,726ක මුදලක් ස්ථාවර තැන්පතු හා වෙනත් තැන්පතුවල ආයෝජනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් පෙන්වාදී ඇත.

ඒ එම ආයතනවලට පැවරී ඇති මහජන සෞඛ්‍ය, පොදු උපයෝගි සේවා, පොදු මංමාවත් පිළිබඳ කටයුතු සහ ජනතා සුබසාධන වැනි සේවාවන් නිසි පරිදි ඉටුකර නොමැති පසුබිමකයි.

අයවැය හා පරිපූරක ඇස්තමේන්තු නිවැරදිව පිළියෙළ නොකිරීම නිසා පළාත් පාලන ආයතන බොහොමයක ඉතිරි වී ඇති ප්‍රතිපාදන ආදායම් ඉපයීමේ අරමුණ ඇතිව ආයෝජනය කර ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව මෙරට මහා නගර සභාව විසින් රුපියල් මිලියන 12,479ක මුදලක්, නගර සභා විසින් රුපියල් මිලියන 2,716 ක මුදලක් හා ප්‍රාදේශීය සභා විසින් රුපියල් මිලියන 11531ක මුදලක් ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ජාතික විගණන කාර්යාලය පෙන්වාදී ඇත්තේ මහජන සුබසාධනයන් නිසි පරිදි ඉටුනොකර පළාත් පාලන ආයතනවල ඇති අරමුදල් ස්ථාවර තැන්පතු ලෙස පවත්වා ගෙන යෑම ගැටලුකාරී තත්ත්වයක් බවයි.

ගංවතුර අවධානම් නිකුත් වෙයි.. ජනතව අවදියෙන් සිටින්න.!

ගංවතුර අවධානම් නිකුත් වෙයි.. ජනතව අවදියෙන් සිටින්න.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවයි.

එම හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

තප්පර 42න් ඇල්ල ඔඩිසිය මිලට ගත් විශ්මකර්මයා අල්ලයි.!

තප්පර 42න් ඇල්ල ඔඩිසිය මිලට ගත් විශ්මකර්මයා අල්ලයි.!

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා ඇල්ල බලා ධාවනය වන ඇල්ල ඔඩිසි දුම්රියේ ප්‍රවේශ පත්‍ර සියල්ල තත්ත්පර 42 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දී අලෙවි වීම සම්බන්ධයෙන් වූ ජාවාරමක තතු හෙළි කළ අතර ඒ සම්බන්ධයෙන් පොලීසියටද විමර්ශණ ආරම්භ කරනා ලෙස දැනුම්දුන්නේය.

ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයෙන්, මෙම දුම්රිය ප්‍රවේශ පත් වංචාවට සම්බන්ධ එක් ප්‍රධාන සැකකරුවකු හදුනා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ.

අදාල සැකකරු මාකුඹුර දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු බව වාර්තා වේ.

ඔහුගේ ඥාතියෙකුගේ නමින් ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර තිබෙන මෙම දුම්රිය නිළධාරියා, ඒ මගින් ඔහු සියලු දුම්රිය ප්‍රවේශ පත්‍ර තාක්ෂණික ක්‍රමවේදයක් හරහා වෙන්කර ගැනීම සිදු කර ඇත.

පසුව එම දුම්රිය ප්‍රවේශ පත්‍ර ඔහුට සම්බන්ධ එම ආයතනය හරහා වැඩි මිලකට අලෙවි කිරීම ඔහුගේ ජාවාරම වන අතර එහිදී 1200 ප්‍රවේශ පත්‍රය රුපියල් 16000ක් වැනි අධික මිලකට විදේශිකයන්ට විකුණා ඇති බව දැනගන්නට තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මූලිකත්වයෙන් මෙම වංචාව හසුකර ගැනීම සදහා කටයුතු කරන ලද අතර මේ වන විට අදාල නිළධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ. 

ප්‍රශස්ති ගායනා ඇති.. මනෝ සාධාරණය ඉල්ලයි.!

ප්‍රශස්ති ගායනා ඇති.. මනෝ සාධාරණය ඉල්ලයි.!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් පවසන්නේ දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් නැතැයි කියන පැරැණි ප්‍රශස්ති ගායනා කිරීම නවතා දෙමළ දේශපාලන සිරකරුවන් සියලු ම දෙනා වහා නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

ඔහු මේ බව පැවසූවේ දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් බන්ධනාගාරවල නැතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් කළා යැයි කියන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා,

“දේශපාලන සිරකරුවන් යැයි කණ්ඩායමක් නැති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. මොහු හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ සහෝදරයාගේ පුතා. එවක ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව සටන් කළ ඔවුන්ගේ සහෝදරයන්ව සිරගත කළ අවස්ථාවේ ඔවුන්ව හැඳින්වූයේ දේශපාලන සිරකරුවන් වශයෙන්. නමුත් යුද්ධය හේතුවෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ සිරකරුවන්ව දේශපාලන සිරකරුවන් වශයෙන් හැඳින්වීම ප්‍රතික්ෂේප කරනවා.

බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි ඇතැමුන් එදා පටන් සිදුකරන ප්‍රකාශ අසා අපට හොඳ පුරුද්දක් තිබෙනවා. විශාල පෙරළියක් සිදු කිරීමට බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඒ ප්‍රශස්ති ම ගායනා නොකළ යුතුයි. ආණ්ඩුව පාර්ශ්වයෙන් ඔවුන් ත්‍රස්තවාදීන් වුණාට ජනතාව පාර්ශ්වයෙන් ඔවුන් අරගලකරුවන්. පලස්තීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා ම අරගල සිදුවූ රටවල තත්ත්වය මෙයට සමානයි.

අපගේ ආණ්ඩු කාලවලත් දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වූ අය සිටියා. 1989දී ජනතා විමුක්ති පෙරමුණේ අරගලකරුවන්වත් එවක ආණ්ඩු ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සටන්කාමීන්ව හැඳින්වූයේ අරගලකරුවන් වශයෙන්. එබැවින් පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතුයි.”

40%ක් ගමේ පොලිස්.. පොලිස්පති දැඩි තීරණයක.!

40%ක් ගමේ පොලිස්.. පොලිස්පති දැඩි තීරණයක.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වූ විශේෂ මාධ්‍ය හමවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා සිටියේ මෑතකදී සිදුකළ සමීක්ෂණයක් අනුව පොලිස් නිළධාරීන්ගෙන් 40% ඔවුන් ස්ථිර පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයන්හි සේවයේ නියතුව සිටිනා බවයි.

එමෙන්ම ගමේ නිළධාරියා ගමේ පොලිසියේ නොසිටිය යුතු බවට අමාත්‍යංශ ලේඛම්වරයා සහ තමා දැඩි ස්ථාවරයක සිටින බවත් ඒ අනුව ඉදිරියේදී එම මාරුවීම් සිදුකිරීමට බලපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

පොලීසියේ ඉහළ නිළධාරීන්ගේ සිට පහලම නිළධාරියා දක්වා දේශපාලන කරනයට ලක්ව ඇති බව නොරහසක් බවත් නිළධාරීන්ගේ කාර්‍යසාධනය ගණනය කිරීම තුලින් එම සංස්කෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

We are happy to invite you.