Local news (Sinhala)

කාලගුණය කැළඹෙයි.. ප්‍රදේශ රැසකට මහ වැසි.!

කාලගුණය කැළඹෙයි.. ප්‍රදේශ රැසකට මහ වැසි.!

අද (27) දින බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් දිව⁣යිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පරිපූරක වෛද්‍ය සේවා වර්ජනය ඇරඹෙයි.!

පරිපූරක වෛද්‍ය සේවා වර්ජනය ඇරඹෙයි.!

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමිනි.

ය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිපූරක  වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ මෙම වැඩවර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් තවත් වෘත්තීය සමිති සහය පළකිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එසේ නොවන්නේ නම් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවනු ඇති බවය.

“මාස දෙකකට ආසන්නයි ජනාධිපතිතුමා තමාගේ තීරණය දීලා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛය ඇවිල්ලා. අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මේ නව වැටුප් ව්‍යුහය ක්‍රියාත්මකයි. අප්‍රේල් වැටුපට අදාළවත් අමතර දීමනා ආදිය වෛද්‍යවරුන්ට ලබාගන්න බෑ. මේ මැයි මාසයත් ඉවර වෙන්න ඇවිත්. මැයි ඉවර වෙද්දිවත් වෛද්‍යවරු කරන රාජකාරියට ලැබිය යුතු වටිනාකමවත් ලැබෙන්නේ නෑ. කොහොමත් ගෙවන්නේ අඩුවෙන්. අපි දකිනවා බරපතළ ගැටලුවක් තියෙනවා. මේ චක්‍රලේඛය වහාම නිවැරදි විය යුතුයි. විධායක සභාව ඒකමතිකව තීරණය කළ දේ තමා එළැඹෙන සතිය ඇතුළතවත් මේක නිවැරදි වෙන්නේ නැත්නම් අපිට යම් ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න සිද්ධවෙනවා.”

අනතුරුදායක නෞකාව මුහුදේ ගිලෙයි.. ජනතාවට අනතුරු ඇඟවීමක්.!

අනතුරුදායක නෞකාව මුහුදේ ගිලෙයි.. ජනතාවට අනතුරු ඇඟවීමක්.!

ලයිබිරියාවේ ධජය සහිත තෙල් සහ අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් අරාබි මුහුදේ ගිලී යාමේ සිද්ධියෙන් පසු ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ බලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එම නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මුදා ගත් අතර නෞකාවේ තිබු බහාලුම් 640ක් ගොඩබිම වෙත ගාසා ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෞකාවෙන් සහ එහි භාණ්ඩවලින් කාන්දු වූ තෙල්, ඉන්ධන සහ අනෙකුත් හානිකර ද්‍රව්‍ය හේතුවෙන් සාගර ජීවීන්ට සහ වෙරළ ආසන්නයේ සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට අනතුරක් විය හැකි බව ඉන්දීය බලධාරීන් සඳහන් කරයි.

එනිසා වෙරළ අසල ජීවත් වන පදිංචිකරුවන්ට වෙරළට ගසාගෙන ආ බහාලුම් හා තෙල් ස්පර්ශ නොකරන ලෙස ඉන්දීය බලධාරීන් උපදෙස් ලබාදී ඇත.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිලත් වෙනස් වෙයි.!

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිලත් වෙනස් වෙයි.!

එළැඹෙන ජුනි (01) වැනිදා සිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොව කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආහාර සඳහා අයකරනු ලබන ගාස්තුව ප්‍රතිශෝධනය කර ඇත.

විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ත් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් අය කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගන්නා ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට තීරණය කර ඇත. 

කාර්ය මණ්ඩලයට සපයනු ලබන ආහාරවල පිරිවැය ආවරණය කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් කරනු ලබන නිර්දේශ පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කරනු ලබන ඉල්ලීම මත වසර තුනකට වරක් ගනු ලබන තීරණයක් බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර ඇත.

ඇප ප්‍රතික්ෂේපයි.. යළිත් බන්ධනාගාරයට.!

ඇප ප්‍රතික්ෂේපයි.. යළිත් බන්ධනාගාරයට.!

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව අද (26) දින යළිත් මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

මෙම නඩුව මාර්ගගතව කැඳවනු ලැබු අතර එහිදී සියලු කරුණු සළකා බැලූ මහර මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු සෙසු සැකකරුවන් සිව් දෙනා එළැඹෙන ජුනි මස (09) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

තවද ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහර මහෙස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය විසින් ප්‍රතික්ෂේප කළාය.

ජොන්ස්ටන්ට එරෙහි නඩුව යළිත් කරළියට.!

ජොන්ස්ටන්ට එරෙහි නඩුව යළිත් කරළියට.!

ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ග රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව අද (26) දින කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි. 

සේවකයින් පිරිසක් නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළද අමාත්‍ය ජෝස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් ශාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ පැවැත්වෙන අතර එහිදී පැමිණි සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමද සිදුවු අතර අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පසුවට කල් තැබුණි.

නැවතත් කොවිඩ් හිස ඔසවයි.. ඉන්දියාවට රතු එළියක්.!

නැවතත් කොවිඩ් හිස ඔසවයි.. ඉන්දියාවට රතු එළියක්.!

නව කොවිඩ් වෛරසය ⁣ලොව පුරා නැවත පැතිරෙමින් පවතින අතර මේ වනවිට ඉන්දියාවෙන් රෝගීන් 1,009ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හී රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවත් කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කේරළයේ රෝගීන් 430ක්, මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ් හී රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් වාර්තා වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ, කොවිඩ් වෛරසය හේතුවෙන් මහාරාෂ්ට්‍රයෙන් මරණ හතරක්, කේරලයෙන් මරණ දෙකක් සහ කර්ණාටකයෙන් මරණ එක් මරණයක් වාර්තා වී ඇති බවයි.

බාධා කළොත් බලාගෙනයි.. ජනපති ටිකක් සැර වෙයි.!

බාධා කළොත් බලාගෙනයි.. ජනපති ටිකක් සැර වෙයි.!

ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට ඉඩ නොදෙන්නේ නම් තම පක්ෂය පරාජය වූ ආයතන වලද බලය පිහිටු වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

පළාත් පාලන ආයතන 152ක මන්ත්‍රිවරු ගැසට් කර විගසම ඒවායේ බලය පිහිටුවීමේ හැකියාව තිබෙන බවත් තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රිවරු සංඛ්‍යාවක් සිටින්නේ තම පක්ෂයට බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“ඒත් යම් යම් පාර්ශ්ව එකතු වුණාම අපි ටිකක් පිටිපස්සෙන් ඉන්නවා. ඒත් ඒ 115ම අපිට බලය පිහිටුවන්න හැකියි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි වෙනත් දේවල් කරන්න ආවොත් ඒ ඉතුරු ආයතනවලත් අපිට බලය පිහිටුවන්න පුළුවන්. අලුත් අදහස් වලට ඉඩ දෙන්න ඕන. නව නායකයන් හදන්න ඕන.”

පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් තරග කර ජයගත් අපේක්ෂකයන් අරලියගහ මන්දිරයේදී (25) හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

මහින්දානන්දට අධිකරණයෙන් දුන් නියෝගය.!

මහින්දානන්දට අධිකරණයෙන් දුන් නියෝගය.!

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) දින නියම කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළ අතර සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියම කළාය.

එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝග කළ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි.!

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි.!

දුම්රිය ගමන්වාර 15කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් අද (26) දින පෙරවරුවේ අවලංගු කර ඇති බව වාර්තා වේ.

රියදුරන් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් ධාවනය කිරීමට නියමිතව තිබූ ගමන්වාර අවලංගු කිරීමට කටයුතු කර ඇත.