Local news (Sinhala)

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි.!

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි.!

දුම්රිය ගමන්වාර 15කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් අද (26) දින පෙරවරුවේ අවලංගු කර ඇති බව වාර්තා වේ.

රියදුරන් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් ධාවනය කිරීමට නියමිතව තිබූ ගමන්වාර අවලංගු කිරීමට කටයුතු කර ඇත.

දිවි නසා ගත් පීඨ සිසුවිය මානසික ආතතියෙන් පීඩා විඳලා.!

දිවි නසා ගත් පීඨ සිසුවිය මානසික ආතතියෙන් පීඩා විඳලා.!

පසුගිය 23 වනදා වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සිය දිවි හානි කරගත් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 23ක් වූ බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබූ අතර ඇය සමඟ නේවාසිකාගාරයේ රැඳී සිටි මිතුරිය විසින් මෙම සිසුවිය ගෙල වැළලාගෙන සිටිනු අයුරු දැක තිබුණි.

අනතුරුව ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සහ බිංගිරිය පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබු අතර සිසුවියගේ පවුලේ ඥාතීන් පවසන්නේ මානසික ආතතිය හේතුවෙන් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බවයි.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව සිසුවිය සියදිවි හානිකර ගැනීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

රණවිරු පවුල්වලට සුබසාධන වැඩ පිළිවෙලක්.!

රණවිරු පවුල්වලට සුබසාධන වැඩ පිළිවෙලක්.!

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රෙද්‍රිගෝගේ උපදෙස් මත දිවයිනේ සෑම යුධ හමුදා කදවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ වන බව යුධ හමුදා මූලස්ථානය පවසයි.

ඒ අනුව අද සිට සෑම හමුදා කදවුරකම අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සුබසාධන අංශය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

යුධ හමුදා මූලස්ථානය සඳහන් කළේ මෙමගින් විශ්‍රාමික, ආබාධිත සහ මිය ගිය හමුදා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සුබසාධන කටයුතු පහසුවෙන් සිදු කළ හැකි බවයි.

දිස්ත්‍රික්ක රැසකට සුපිරි වැස්සක්.!

දිස්ත්‍රික්ක රැසකට සුපිරි වැස්සක්.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඒ අනුව, ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් කුඩා වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ජනපති ට්‍රම්ප් අඩියක් පස්සට ගනී.!

ජනපති ට්‍රම්ප් අඩියක් පස්සට ගනී.!

යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම අමෙරිකාව කල් දමා ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් අතර පැවති දුරකතන සංවාදයකදී ඇති කර ගත් එකඟතාවක් මත මෙම තීරණය ගෙන ඇත.

තීරු බදු ඉහළ නැංවීමේ නියෝගය, ජුනි (01) වැනිදා සිට බලාත්මක කිරීමට නියමිතව තිබුණ අතර ඒ අනූව ජූලි (09) වැනිදා දක්වා අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත.

මරික්කාර්ට සජබෙන් අඩු සැලකිලි.. ලොකු පිම්මක් අත ළග.?

මරික්කාර්ට සජබෙන් අඩු සැලකිලි.. ලොකු පිම්මක් අත ළග.?

කොළඹ නගර සීමාවේ මැතිවරණයට තමාව දායක කරගත්තේ නැති බවත් කොළඹ නගර සභාව හදන එකට තමාව දායක කරගෙන නැති බවත් තමාට වගකීම් පවරලා නැති බවද සමගි ජන ⁣බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් සඳහන් කරයි.

මන්ත්‍රී එස්.එම් මරික්කාර් මේ සම්බන්ධයෙන් සඳහන් කළේ,

“මම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. හැබැයි ඉතින් මේ මැතිවරණ ව්‍යාපාරයේදී මම පෞද්ගලිකව සමහර ඉල්ලපු, මට උදව් කරපු අපේක්ෂකයින්ට උදව් කරපු නම්, පක්ෂය විසින් කොළඹ නගර සභාව සීමාවේ මැතිවරණයට මාව දායක කරගත්තේ නෑ.

ඒ වගේම මේ නගර සභාව හදන එකටත් මාව දායක කරගෙන නෑ. ඒක ගිහින් මුජබර් රහුමාන් මන්ත්‍රී තුමාගෙන් අහන්න. එතුමා තමයි කරන්නේ මේක.

මට වගකීම් පවරලත් නෑ. මට වගකීම් දුන්නෙත් නෑ. මම සියයට 50ක් කොළඹින් ඡන්ද ගත්තට මාව සම්බන්ධ වෙලා නෑ. 117න් 29ක් හම්බුණේ ඒකනේ. හරිද..

මම මේ පක්ෂයේ නිර්මාණය කරපු මුල් 15 දෙනා අතර එක්කනෙක්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක මම බස් එකේ ඉස්සරහ සීට් එකේ තමා වාඩිවුණේ. මම පුටි බෝඩ් එකේ එල්ලිලා ආවේ නෑ හරිද. ඒ වගේම මේ පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක මම. ඒ වගේම මේ පක්ෂයේ කලමණාකරන කමිටුවේ සාමාජිකයෙක් මම. හැබැයි මම දන්නේ නෑ.”

ලබාදුන් කාලය හෙටින් අවසන්.!

ලබාදුන් කාලය හෙටින් අවසන්.!

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ අනුව පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට, අපේක්ෂකයින්ට හා ස්වාධීන කණ්ඩායම්වලට දැනුම්දී ඇති බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට, එම වාර්තා ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

වීඩියෝ සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී.!

වීඩියෝ සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී.!

මෙරටට පැමිණි සංචාරකයෙකුට වැලිගම පිහිටි සර්ෆින් ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් එම සංචාරකයා සිය යූටියුබ් ගිණුමේ පළ කර ඇත.

ඒ අනුව විදෙස් ජාතිකයාට ශ්‍රී ලාංකිකයෙකු පහරදීමේ වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම සිදුවීම 2024 වර්ෂයේ පෙබරවාරි මස වැලිගම පොලිස් වසමේදී, සිදු වූ සිදුවීමකි.

මෙරටට පැමිණි පිලිපීන ජාතිකයෙකු වැලිගම ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින් පහරදුන් බවට එම විදේශිකයා විසින් 2024.02.14 වන දින වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සිදුකල විමර්ශනයේදී, මෙම විදේශිකයා සංචාරයක් සඳහා මෙරටට පැමිණ කැමරාවකින් ඔහු සිදු කරන ක්‍රියාකාරකම් පටිගත කරමින් වැලිගම ප්‍රදේශයේ සංචාරය කරමින් සිට ඇති බවත්, එම අවස්ථාවේ වැලිගම පැලෑන වෙරළ තීරයේ පිහිටි දිය මත ලිස්සා යාම පුහුණු කරනු ලබන ස්ථානයකට ගොස් දර්ශන පටිගත කිරීමේදී, එම ස්ථානයේ සේවකයෙකු ඊට විරුද්ධත්ව ප්‍රකාශ කර ඇති වූ ආරවුලක් මත මෙම විදෙස් ජාතිකයාට එම පුද්ගලයා විසින් අතින් පයින් පහරදීමක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව 2024.02.14 වන සිද්ධිය වූ දිනම වැලිගම ප්‍රදේශයේදී, වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම පහරදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 24 ක් වන වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. 2025.09.11 වන දින මෙම නඩුව විභාගය සඳහා ගරු අධිකරණයේ නැවත කැඳවීමට නියමිතය.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ඇතැම් අවස්ථා වලදී විවිධ පුද්ගලයින් විසින් සිදු කරනු ලබන පහරදීම් ඇතුළු ඔවුනට මුහුණපෑමට සිදු වන ගැටළු සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් කඩිනමින් ක්‍රියාමාර්ග ගෙන සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

නමුත් මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගරු අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන මෙන්ම පොලිසිය විසින් විමර්ශන සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග ගෙන ඇති සිදුවීම් පවා ඉතා මෑත කාලයේ හෝ දින කිහිපයකට පෙර සිදු වූ සිද්ධීන් ලෙස හුවා දැක්වෙන ආකාරයට ඇතැම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නැවත නැවත සංසරණය කරවීමට ක්‍රියාකරන බවට නිරීක්ෂණය වී ඇත.

එබැවින් පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය කරවීමට කටයුතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් රට අපකීර්තියට පත් කිරීමට හෝ වෙනත් අරමුණකින් එසේ සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

හල්ලොලුවට වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු 3ක් අත්අඩංගුවට.!

හල්ලොලුවට වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු 3ක් අත්අඩංගුවට.!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (24) දින මහරගමදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව එම සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

පරිපූරක වෛද්‍ය සේවකයන් වෘත්තිය ක්‍රියාමාර්ගයක.!

පරිපූරක වෛද්‍ය සේවකයන් වෘත්තිය ක්‍රියාමාර්ගයක.!

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය විසින් සිය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබානොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණය කර ඇත.

ඒ අනුව හෙට (26) දිනය තුළ විසදුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (27) දින උදෑසන 08.00ට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

පැනනැගී ඇති ගැටලු විසඳා ගැනීමට සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග අවස්ථා කිහිපයකදි සාකච්ඡා සිදු කළද ඒ සියල්ල අසාර්ථක වු බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.