Local news (Sinhala)

දේශබන්දුගේ දෙවනවර කැඳවීම අද.!

දේශබන්දුගේ දෙවනවර කැඳවීම අද.!

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ දෙවන වරට අද පෙනී සිටීමට නියමිතයි. 

මොහු පළමු වරට මෙම පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියේ පසුගිය 19 වනදායි. 

දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට සදහා පසුගියදා මෙම කමිටුව පත් කෙරෙනු ලැබුවා. 

එහි සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කටයුතු කරන අතර, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක එහි සෙසු සාමාජිකයින්.

විපක්ෂයේ අවසන් එකඟතාවය දැනුම් දෙයි.!

විපක්ෂයේ අවසන් එකඟතාවය දැනුම් දෙයි.!

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ වෙත ද සභාපති, උප සභාපති ධුර ඇතුළු අනෙකුත් ප්‍රධාන තනතුරු බෙදෙන පරිදි විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුව ඊයේ (27දා) තීරණය කර ඇත.

පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ප්‍රථමවරට සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ රැස්විණ. එහිදී සජබ ජ්‍යෙෂ්ඨයින් විසින් ඒකමතිකව ඉහත තීරණය ගනු ලැබූ බව ඊට සහභාගි වූ සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය.

පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය හිමි සභාවල බලය පිහිටුවීමේදී විපක්ෂය නියෝජනය කෙරෙන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය ඇතුළු අනෙකුත් පක්ෂ සමග සමගියෙන් කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

හල්ලොලුව අභිරහස හෙළි වෙයි.. වෙඩි තැබීමට ආ පැදිකරු අත්අඩංගුවට.!

හල්ලොලුව අභිරහස හෙළි වෙයි.. වෙඩි තැබීමට ආ පැදිකරු අත්අඩංගුවට.!

පසුගිය 17 වැනිදා නාරාහේන්පිට පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් කරමින් සිටි මෝටර් රථයකට සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරමින් පවතී.

එම විමර්ශන අනුව කොළඹ දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී මෙම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු හා එම අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකථන 04ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකුරුවන් අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

වැස්ස වැඩි වෙයි.. ජනතාවට දැනුම්දීමක්.!

වැස්ස වැඩි වෙයි.. ජනතාවට දැනුම්දීමක්.!

කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බවයි.

එසේම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. 

එමෙන්ම සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්. 

තවද , උතුරු-මැද පළාතේත් මන්නාරම, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව පවයි. 

කෙසේ වෙතත් , ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අසරණ මගීන් බිල්ලට දුන්නා හොඳටම ඇති.. පහත් වර්ජන අවසන් කරන්න.!

අසරණ මගීන් බිල්ලට දුන්නා හොඳටම ඇති.. පහත් වර්ජන අවසන් කරන්න.!

දුම්රිය රියදුරන් හදිසියේම ලෙස නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පසුගිය දිනවල දුමිරිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට පියවර ගත් අතර ඒ හේතුවෙන් මගීන් දැඩි ලෙස අසරණ විය.

පසුගිය 2023 වසරේ සැලසුම් කළ දුම්රිය වාර සංඛ්‍යාව එක්ලක්ෂ විසි දෙදාහස් හාරසිය විසි හයක් (122,426) බවත් එම දුම්රිය ගමන් වාර වලින් නියමිත වෙලාවට ධාවනය වී ඇත්තේ ගමන් වාර දස දහස් පන්සිය තිස් එකක් (10,531) බව සඳහන් කරයි.

ඒ අනුව 70%ක් දුම්රිය ගමන් වාර නියමිත වෙලාවට ධාවනය කර නොමැති අතර ඒ හේතුවෙන් කිසිම විශ්වාසයක් තියන්න බැරි ප්‍රවාහන මාධ්‍යයක් වන දුම්රිය ධාවනය හේතුවෙන් ජනතාව දැඩි ලෙස අසරණ වී සිටියි.

දවසකට ලක්ෂ 3ක් විතර මගීන්ට දුම්රිය අවශ්‍ය වන බැවින් තවදුරටත් මගීන් බිල්ලට නොදී ජනතාවගේ ඡන්දයට ගරු කරමින් වත්මන් ආණ්ඩුව විසින් මෙම දුමිරිය ගැටලුවට කඩිනම් සෘජු තීරණ ගත යුතුයි.

මෙම හැම එකකටම හේතුව දුම්රිය රියදුරු හිඟය නම්, තවදුරටත් රටේ මගීන් අසරණ නොකර වත්මන් ආණ්ඩුව අලුත් රියදුරන් බදවාගෙන පුහුණු කර මෙම පහත් වර්ජන ක්‍රමය අවසන් කළ යුතුයි.

රජයෙන් ලබාදෙන අධාර මුදල තවත් වැඩි කරයි.!

රජයෙන් ලබාදෙන අධාර මුදල තවත් වැඩි කරයි.!

රජය විසින් ලබාදෙන ආධාර මුදලක් වැඩි කිරීමට තීරණය කර ඇත.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව රජය විසින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීම සඳහා එක් පුද්ගලයෙකු සඳහා ලබාදෙන රුපියල් 20,000ක ආධාර මුදල රුපියල් 50,000 දක්වා වැඩිකිරීමට තීරණය කර ඇත.

වැඩවර්ජනය අත්හිටුවයි.!

වැඩවර්ජනය අත්හිටුවයි.!

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (28) දින උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් සඳහන් කරයි.

අද (27) දින රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් සඳහන් කරයි.

දෙහිවල, නැදිමාල වෙඩි තැබීමේ වෙඩික්කරු අත්අඩංගුවට.!

දෙහිවල, නැදිමාල වෙඩි තැබීමේ වෙඩික්කරු අත්අඩංගුවට.!

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ඉකුත් (19) වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. 

අද (27) පොලීසියට ලැබුනු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසයි.

එහිදී වෙඩික්කරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 160ක්ද සොයාගැනීමට සමත්ව ඇත.

එමෙන්ම වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 350ක්ද සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් අවුරුදු 38 හා 43 වයස්වල පසුවන දෙහිවල හා මිහින්තලය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන්. 

කෝටි 12ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ හිටපු ඇමතිට එරෙහි නඩුව යළි විභාගයට.!

කෝටි 12ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ හිටපු ඇමතිට එරෙහි නඩුව යළි විභාගයට.!

චීන සමාගමක් විසින් ලබාදුන් රුපියල් කෝටි 12කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (27) දින කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

රුපියල් දොළොස් කෝටී අනූ එක්දාස් පන්සීයක මුදලක් සුබසාධන කටයුතු වලට නොයොදා 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්ති යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් විත්තිකාර හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ එම සමාගම විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ලබාදුන් එම මුදල සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින සරණ ගුණවර්ධනට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුවෙිය.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කේ.ජී.වී ඇන්ටනි පෙරේරාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි. 

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන අගෝස්තු මස (07) වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළ අතර එදිනට නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

නව කොවිඩ් වෛරසය ලංකාවට.?

නව කොවිඩ් වෛරසය ලංකාවට.?

නැවත වරක් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට රජය අවධානය යොමු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරට නොමැති නමුත් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ඒ සම්බන්ධව මේ වන විටත් එම කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වනවිට සිංගප්පූරුවෙත්, ඉන්දියාවෙත් යම් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන බවත් වෛරසය සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවන බවද අද (27) දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරයි.