Local news (Sinhala)

නව කොවිඩ් වෛරසය ලංකාවට.?

නව කොවිඩ් වෛරසය ලංකාවට.?

නැවත වරක් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට රජය අවධානය යොමු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරට නොමැති නමුත් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ඒ සම්බන්ධව මේ වන විටත් එම කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වනවිට සිංගප්පූරුවෙත්, ඉන්දියාවෙත් යම් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන බවත් වෛරසය සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවන බවද අද (27) දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

කොළඹ ආණ්ඩුවට දෙන්නෙම නෑ.. පොහොට්ටුව පුප්පයි.!

කොළඹ ආණ්ඩුවට දෙන්නෙම නෑ.. පොහොට්ටුව පුප්පයි.!

කොළඹ මහ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලයට අනුව කොළඹ ජනතාව බහුතරයක් වර්තමාන ආණ්ඩුවට බලය දීම සුදුසු නැතැයි තීරණය කර ඇති බවත් ඒ හේතුවෙන් වර්තමාන ආණ්ඩුවට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට පසුබිම සැකසීමට ඉඩනොතබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට විපක්ෂයේ අනෙකුත් පක්ෂ, බහුතරයක් ලබාගත්ත පක්ෂ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර, කවුද ඉදිරිපත් කරන්නේ යන කාරණා මෙන්ම අණ්ඩුවට විරුද්ධ බලවේගයකට අවශ්‍ය සහය දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බවත් නමුත් එහිදි ඒ ඒ පක්ෂවලට, ඒ ඒ පුද්ගලයාට උදව් කරනවා කියන කාරණය මත පදනම්ව කටයුතු නොකරන බවත් කාරියවසම් මහතා කීය.

ජනතා මතය කියන කාරුණ ඉදිරියෙන් තබාගෙන පමණක් කිසියම් පක්‍ෂයකට හෝ කණ්ඩායමකට බලය පිහිටුවීමට සහය දෙන බව කී ඒ මහතා රටේ අනාගතය සම්බන්ධයෙන් එම පක්‍ෂයට වෙනස් ආකල්පයක් ඇති බව ද සඳහන් කළේය.

මර්වින් සතු කළු සල්ලි ගැන තොරතුරු අධිකරණයට.!

මර්වින් සතු කළු සල්ලි ගැන තොරතුරු අධිකරණයට.!

සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය  මර්වින් සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ, 2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බවය. 

ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි තිස් නව ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වේ. 

ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් mercedes benz රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි විසි තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක ක මුදලක් වැය කර ඇති බවත් හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව තුළින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව දෙකකි.

රාජගිරියේ හදිසි ගින්නක්.!

රාජගිරියේ හදිසි ගින්නක්.!

අද (27) දින දහවල් රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක හදිසියේම ගින්නක් හට ගෙන ඇත.

මෙම ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා ඇත.

ගල්කිස්ස ඝාතනය පිටුපස සියළු අභිරහස් හෙළි වෙයි.!

ගල්කිස්ස ඝාතනය පිටුපස සියළු අභිරහස් හෙළි වෙයි.!

ගල්කිස්ස, සිල්වෙස්ටර් මාවත අසලදී ගල්කිස්ස නගර සභා සේවකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සුලමුල අනාවරණය කරගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මේ වන විට හැකි වී තිබේ.

අදාල වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු මෙන්ම යතුරුපැදිකරුද මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ 19 හැවිරිදි එම තරුණයාගේ ඝාතනය බඩෝවිට අසංක පාර්ශ්වයේ “සැන්ඩෝ” නමැත්තා විසින් මෙහෙයවා ඇති බවය.

19 හැවිරිදි ප්‍රවීන් නිශ්ශංක ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත තුවක්කුකරු සහ පැදිකරු මෙහෙයවා ඇත්තේද සැන්ඩෝ විසින් බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තුවක්කුකරු, පැදිකරු, ආධාර අනුබල දුන්නවුන් අත්අඩංගුවට ගත්තද ප්‍රවීන් නිශ්ශංකට වෙඩි තැබූ පිස්තෝල ගිනි අවිය සොයා ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැතත් ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේදී ප්‍රවීන් නිශ්ශංකට වෙඩි තැබූ ගිනි අවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී ඇත.

ඒ ප්‍රවීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචි අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමත් සමඟය.

ප්‍රවීන් නිශ්ශංක ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ වෙඩි තැබීමට තුවක්කුකරු සමඟ පැමිණි යතුරුපැදිකරුය.

මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි “ඩිලා” නමැති ඔහුගෙන් කළ ප්‍රශ්න කිර්මේදී අංක තහඩු 3ක්, කැබලි කරන ලද යතුරුපැදියක කොටස් සොයා ගැනීමට නිලධාරීර්න් සමත් වන අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිමෙන් පසු ප්‍රවීන් නිශ්ශංක ඝාතනයේ වෙඩික්කරු කොටුකරගෙන ඇත.

හිටපු ගුවන් හමුදා සෙබළකු වූ ඔහුගේ කොට්ටාව කුලසෙවණ මාවතේ ඉදිකරමින් පවතින නිවෙසේ නාන කාමරයේ වළදමා තිබූ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ 9mm වර්ගයේ ජීව උණ්ඩ 15ක්ද නිලධාර්න් සොයාගනු ලබන්නේ ඉන් පසුවය.

ඒ අතර අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් යතුරුපැදිය සඳහා භාවිත කළ ව්‍යාජ ලෙස සකස් කරන ලද යතුරුපැදි අංක තහඩු යුගලක්ද සොයා ගැනීමට නිලධාර්න් සමත් විය.

වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කරනා නිළධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ ප්‍රවීන් නිශ්ශංක ඝාතනය කිරීමට උපයෝගී කරගත් ගිනි අවිය තමාට ලබා දුන්නේ ඕබන් පෙදෙසේ පදිංචිකරුවකු බවය.

විමර්ශන නිලධාරීන් පවසන්නේ වෙඩි තැබීමට දින පහකට පෙර එනම් මැයි මස 1 වැනිදා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ “සැන්ඩෝ” විසින් මෙම සැකකාර යුවළගේ සැමියාට දුන් දුරකථන ඇමැතුමක් මත ඔහු පානදුර ප්‍රදේශයට ගොස් එක්තරා පුද්ගලයකු හමුවී ඇති බවය.

පසුව ඔහු විසින් දෙනු ලැබූ පිස්තෝල අවිය රැගෙන සුඛෝපභෝගී බසයක නැගී සැකකාර සැමියා දෙහිවල ඕබන් පෙදෙසේ සිය නිවෙසට පැමිණ එම ගිනි අවිය නිවෙසේ සඟවාගෙන සිට ඇත.

එලෙස සඟවා තිබූ පිස්තෝල අවිය සැන්ඩෝ විසින් යළි දෙන ලද උපදෙස් මත මැයි 5 අලුයම බෙල්ලන්විල රථ ගාලකට කුලී රියකින් ගොස් එම අවිය එතැනට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුට ලබාදී ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබේ.

ඒ බව ඒ අවට ඇති සීසීටීවී කැමරා දර්ශනවලින් තහවුරු වී ඇති අතර රථගාලේදී එම ගිනි අවිය ලබාගත් වෙඩික්කරු එම අවිය රැගෙන ගල්කිස්ස සිල්වෙස්ටර් පාරට ගොස් එහිදී මාර්ගය ශුද්ධ පවිත්‍ර කරමින් සිටි ප්‍රවීන් නිශ්ශංකට වෙඩි තබන අතර ගාලුපාර දෙසට දිව යන ප්‍රවීන්ට පන්න පන්නා ගොස් වෙඩි තබා ඝාතනය කරනු ලබයි.

වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු පැමිණි යතුරුපැදියෙන්ම පැදිකරුගේ නිවෙසට ගොස් වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් ඇඳුම් ගලවා දමා යතුරුපැදියද පැදිකරුට තබාගන්නා ලෙස පවසා එතැනින් නික්ම ගොස් ඇත.

පසුදින එනම් 6 වැනිදා සැන්ඩෝගෙන් යළි දුරකථන ඇමැතුමක් අඹු – සැමි යුවළගේ සැමියාට ලැබී ඇති අතර ඔහු පවසා ඇත්තේ “අරූට ගහපු වෙපන් එක ගන්න කොට්ටාවට පලයන්. ඒක උඹට ගෙනත් දෙයි. ඒක අරගෙන මම කියන ලොකේෂන් එකේ තියපන්” ලෙසයි.

පසුව සැන්ඩෝ නැමැත්තාගේ කීම මත සැකකාර සැමියා සිය බිරියද යතුරුපැදියක නංවාගෙන කොට්ටාව ප්‍රදේශයට ගොස් ඇත්තේ ඉන් පසුවය. එහිදී වෙඩික්කරු විසින් ප්‍රවීන් මරා දැමීමට උපයෝගී කරගත් ගිනි අවිය සැකකාර සැමියා අතට ලබා දී තිබේ.

පසුව සැමියා විසින් එම අවිය බිරියට ලබාදී ඇති අතර, බිරිය එය තම හෑන්ඩ් බෑගයේ දමාගෙන පිළියන්දලට යන මෙම යුවළ සැන්ඩෝ විසින් ලබාදෙන “ලොකේෂන්” එකක එම ගිනි අවිය තබා පෙරළා සිය නිවෙස බලා ගොස් ඇති බව විමර්ශනයේදී හෙළිව තිබේ.

ඒ අනුව තුවක්කුකරු විසින් කරන ලද පාපෝච්චාරණය මත මෙම සැකකාර යුවළද සිද්ධියට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් එම යුවළ දෙහිවල, ඕබන් පෙදෙසේ ධීවර නිවාසවල පදිංචිකරුවෝය. සැකකාරිය අවුරුදු 28ක තැනැත්තියක් වන අතර,

සැකකරුගේ වයස අවුරුදු 33කි. සැකකරු යතුරුපැදි කාර්මිකයකු ලෙස රැකියාව කරන්නෙකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 15,000ක් සමඟිනි.

සැකකරු සංවිධානාත්මක අපරාධකරු සැන්ඩෝ නමැත්තාගේ සමීපතමයෙකි. කොස් මල්ලී සහ බඩෝව්ට අසංක පාර්ශ්ව දෙක අතර ඇතිවී තිබෙන මත්ද්‍රව්‍ය ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස අසංක පාර්ශ්වය නියෝජනය කරන සැන්ඩෝ නමැත්තා විසින් ප්‍රවීන් වෙඩි තබා ඝාතනය කිරීම මෙහෙයවා තිබේ.

ප්‍රවීන් වෙඩි තබා මරා දැමීමෙන් පසු ප්‍රවීන්ගේ ඥාතියකුට තර්ජනය කරමින් තවත් අය මරා දමන බවට වස්ඇප් හරහා තර්ජනය කරන්නේද සැන්ඩෝ විසින් බව විමර්ශනයේදී හෙළිවිණි.

කෙසේ වෙතත් මැරුම් කෑ ප්‍රවීන් නමැත්තා කොස්මල්ලිගේ පාර්ශ්වයේ ඥාතියකු බව හෙළි වී ඇති අතර එම ඝාතනයට එකට එක කිරීමක් ලෙස ඉකුත් 19 වැනිදා දහවල් බඩෝවිට අසංකගේ ඥාතියකුගේ දෙහිවල නැදිමාල පිහිටි වෙළෙඳසලක සිටි පුද්ගලයකු ඉලක්ක කොට වෙඩි තැබීමක්ද සිදුකර තිබේ.

එහෙත් ගිනි අවිය අක්‍රිය වීම නිසා එම පුද්ගලයාගේ ජීවිතය බේරී තිබේ. පසුව වෙඩි තැබීමට තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය මීගොඩ, කජුගහයටදෙණිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.

අසංක සහ කොස්මල්ලි පාර්ශ්ව දෙක අතර ඇති ගැටුමෙන් මේ වන විට අහිමි වී ගිය ජීවිත ගණන 8කි. අත්අඩංගුවට ගත් සැකකාර අඹු – සැමි යුවළ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා නින්ද අහෝසි කරමින් කැබිනට් තීරණයක්.!

කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා නින්ද අහෝසි කරමින් කැබිනට් තීරණයක්.!

කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් ඉහළ නැංවීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාරක කර්මාන්තය නංවාලීම සහ කොළඹ නගරයේදී අත්විඳිය හැකි සංචාරක අත්දැකීම වැඩි කිරීම සඳහා ව්‍යුහගත ප්‍රවේශයක අවශ්‍යතාව මත යෝජනා වී ඇති “සමුද්‍රිය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, “සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර 7.4 ක් පමණ වන කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහිදී ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400 ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හෙරොයින් සමඟ මාට්ටු වූ ක්‍රිකට් තරුව පිටුපස මහා කුඩු ජාවාරමක්.!

හෙරොයින් සමඟ මාට්ටු වූ ක්‍රිකට් තරුව පිටුපස මහා කුඩු ජාවාරමක්.!

හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංක ජූනි 1 වැනිදා දක්වා රදවා ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අවසර දුන්නේය.

හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 350ක් සමගින් සැකකරු පෙරේදා (25) අත්අඩංගුවට පත්වූ අතර පන්නල පොලිසිය විසින් බී වාර්තාවක් මගින් ඊයේ (26) අධිකරණයට ඉදිරිපත් කළේය.

පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී ද මොහු මෝටර් රථයෙන් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

නිවෙසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවෙසට ගොස් පරීක්‍ෂා කිරීමේදී ඔහුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී හෙරොයින් තොගය සොයාගත් බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

පොලිසිය මෙහිදී කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු බැවින් රඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවය.

පාතාල පාස්පෝට් කන්තෝරුවේ සහකාර පාලක අත්අඩංගුවට.!

පාතාල පාස්පෝට් කන්තෝරුවේ සහකාර පාලක අත්අඩංගුවට.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම සැකකරු විසින් තවත් සංවිධානාත්මක අපරාධකරුවන්ට හෝ වෙනත් පුද්ගලයින්ට නීතිවිරෝධී ආකාරයෙන් ගුවන් ගමන්පත්‍ර සකස් කරදී තිබේද යන්න හඳුනාගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

බිංගිරිය විද්‍යා පීඨ සිසුවියගේ මරණයට කථිකාචාර්යවරයකුට චෝදනා.!

බිංගිරිය විද්‍යා පීඨ සිසුවියගේ මරණයට කථිකාචාර්යවරයකුට චෝදනා.!

පසුගිය 23 වැනිදා බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් නේවාසිකාගාර කාමරයේ ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත් විය.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ මහනුවර තෙල්දෙනිය දෙල්ගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සංජීවනී කුමාරි නම් 23 හැවිරිදි සිසුවියකි.

කෙසේවෙතත් මෙම සිසුවිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට එහි පාලනාධිකාරිය හා කථිකාචාර්යවරුන් වගකිව යුතු බව කියමින් සිසු සිසුවියෝ පිරිසක් විද්‍යා පීඨයේ ඉදිරිපිට දී පෙරේදා (24) පස්වරුවේ නිහඬ විරෝධතාවක නිරත වූහ.

මෙම සියදිවි නසා ගැනීමට අධ්‍යාපන විද්‍යා පීඨයේ පාලනාධිකාරිය හා කථිකාචාර්යවරුන් වග කිව යුතු බව උද්ඝෝෂණයේ නිරත සිසු සිසුවියෝ චෝදනා කරති.

දිවි නසා ගැනීමට තරම් මෙම සිසුවිය මානසික පීඩාවකට පත්කර ඇත්තේ එක්තරා කථිකාචාර්යවරයකු බවත් වයඹ අධ්‍යාපන පීඨය අධ්‍යාපන ආයතනයක් ලෙස නොව තරුණ සිරකරුවන්ගේ කඳවුරක් ලෙසට පාලනය කරන බවත් සිසු සිසුවියෝ චෝදනා කරති.

ඔව්හු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැය තුනකට පමණ ආසන්න කාලයක් සිසු සිසුවියෝ විරෝධතාවේ නිරතව සිටි අතර වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති ලාල් කුමාර මහතා අනතුරුව එහි පැමිණ සිසුන් සමග සාකච්ඡාවක නිරතවීමෙන් පසු ඔවුහු විසිර ගොස් ඇත.

හලාවත විදුහලක ප්‍රාථමික අංශයේ සිසුනට අකුරු කියාදීමේ පුහුණු වැඩසටහනකට තවත් ගුරු පුහුණුව ලබන සිසුවියන් සමග ඉකුත් 23 වැනිදා ගොස් ඇති මෙම සිසුවිය නැවත නේසිකාගාරයට පැමිණ අනතුර සිදු කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

කෙසේවෙතත් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පීඨාධිපති ලාල් කුමාර මහතා කීවේ. විද්‍යා පීඨයේ පවතින සම්ප්‍රදාය අනුව විද්‍යා පීඨයේ ගුරුවරුන් කටයුතු කර තිබෙන බවයි.

“ළමයි පීඩාවට පත් කිරිමක් හෝ වෙන දෙයක් මෙහි වන්නේ නෑ ඒ ළමයා මිය යන්න සති දෙකකට කලින් ගෙදර ගියා. ජීවිතය එපාවෙලා තියෙනවා යැයි අක්කලට කියා තිබෙනවා. පීඩනයක් තිබෙන බව කියා තිබෙනවා” යැයි පීඨාධිපතිවරයා කීය.මේ පිළිබඳව බිංගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ආරුගම්බේ බිකිනි දැක ගම්මුන්ට නගී.!

ආරුගම්බේ බිකිනි දැක ගම්මුන්ට නගී.!

සර්ෆින් ක්‍රීඩාව සුලබව සිදුවන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ බිකිණි ඇතුළු සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳ ගමන් කිරීමට සංචාරකයින්ට ඉඩ නොදෙන්නැයි ප්‍රදේශවාසීන්ගෙන්ගෙන් පොලීසිය වෙත දිගින් දිගටම පැමිණිලි ලැබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව සංවරව හැසිරෙන ලෙස තම හෝටල් තුළ රැඳී සිටිනා සංචාරකයින් දැනුවත් කරනා ලෙස පොතුවිල් පොලිසිය විසින් හෝටල් හිමියන්ට දැනුවත් කර තිබේ.

පොතුවිල් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ මත්පැන් පානය කරමින් ගමන් කිරීම ද තහනම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් සුවපහසු ගමනාන්තයක් ලෙස සංචාරකයින් අතර ප්‍රචලිතව පවතින අතර, ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහ විනෝද ක්‍රීඩා ආදිය ද ඊට හේතු වී තිබේ.

විදෙස් සංචාරකයින් වඩාත් ප්‍රිය කරන මෙරට සංචාරක කලාප අතර ආරුගම්බේ මුහුදු තීරය සුවිශේෂී වන්නේ ස්වාභාවික මුහුදු රළ මත කරන සර්ෆින් ක්‍රීඩාව හේතුවෙනි.

ඊටම ආවේණික ක්‍රීඩා උපකරණ මෙන්ම ඇඳුම් ද සර්ෆින් ක්‍රීඩාව සඳහා භාවිත වෙයි.

කෙසේවෙතත් ආරුගම්බේ සංචාරක කලාපය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ වැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ එහි පැමිණෙන සංචාරකයින්ට පනවා ඇති ආගන්තුක නීති කිහිපයක් හේතුවෙනි.

ඒ අනුව එම ප්‍රදේශයේ ගැවසෙන සංචාරකයින්ට බිකිනි සහ සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳීම තහනම් කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පොතුවිල් පොලිසියෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ බිකිනි ඇතුළු සිරුර වඩාත් නිරාවරණය වන ආකාරයේ යට ඇඳුම් ඇඳ ගමන් නොකරන ලෙසට දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම ආරුගම්බේ ප්‍රධාන මාර්ගයේ මත්පැන් පානය කරමින් ගමන් කිරීම ද තහනම් කර ඇති බවත් මෙම නීති සම්බන්ධයෙන් හෝටල් හිමියන් ද දැනුවත් කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

කෙසේ වෙතත් ආරුගම්බේ මුහුදු තීරය සහ ප්‍රධාන මාර්ගය අතර විශාල දුරක් නොපවතින බැවින් සංචාරකයින් දවසේ වැඩි කාලයක් මුහුදු තීරය සහ ප්‍රධාන මාර්ගය අසළ ගැවසීම සුලබ දසුනකි.