Main news (Sinhala)

“නීතිපති ගෙදර යනු”  දැවැන්ත විරෝධතාවක්.!

“නීතිපති ගෙදර යනු” දැවැන්ත විරෝධතාවක්.!

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව සමාජය තුළ මහත් කතාබහකට ලක්වී තිබේ.

මේ පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාද අදහස් දැක්වීය.

නීතිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ඒ අනුව, එය හෙට (06) දහවල් 12.00 ට කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට එම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වෙනවා.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසන්නේ යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාට ඒ සඳහා සහභාගී වන මෙන් ආරාධනා කරන බවයි.

වී සදහා මිල තීරණය කරයි.. නව මිල ගණන් මෙන්න.!

වී සදහා මිල තීරණය කරයි.. නව මිල ගණන් මෙන්න.!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම පශු සම්පත්, වාරිමාර්ග අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය ආයතන ගොවියට ඉතා සාධාරණ ලෙස වී මිලදී ගැනීමට මිල ගණන් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සදහන් කරයි.

ඒ අනුව වියළි නාඩු වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගන්නා බව සදහන් කරයි.

සම්බා වී කිලෝවක් රුපියල් 125 කට මිලදී ගන්නා බව සදහන් කරයි.

කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට මිලදී ගන්නා බව සදහන් කරයි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සදහා අද (05) දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

ලසන්ත ඝාතනයේ යුක්තිය පිළිබඳ අපේක්ෂා බිඳ වැටෙයි.?

ලසන්ත ඝාතනයේ යුක්තිය පිළිබඳ අපේක්ෂා බිඳ වැටෙයි.?

2009 ජනවාරි 8 මහමග කුරිරු ලෙස ඝාතනය කර දැමූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින තිදෙනකු සම්බන්ධයෙන් තවදුරටත් නීති මඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බවත් එනිසා ඔවුන් නිදහස්කර යැවිය හැකි බවටත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවූ බව කියනා ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

එහි සත්‍යතාව තහවුරු කරමින් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ එම ලිපිය සම්බන්ධයෙන් අදහස් පළකර තිබුනි.

පසුගිය 27 වැනිදා නීතිපතිවරයා විසින් යොමු කර ඇති ලිපියකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත තමන් වෙත දැනුම්දෙන ලෙසයි.

මෙසේ නිදහස්කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුදහමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.

පසුගිය කාලයන්හි සිදුකරන ලද රාජ්‍ය අපරාධ කිසිදා හෙළිදරව් නොවනු ඇති බවට වන සැකය ත්‍රීවෘ වන බව බොහෝ පිරිස් එම ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් රජය පාර්ශවයෙන් මෙතෙක් සිදුකර නොමැත.

ජල ගාස්තුව දැනෙන්න බස්සයි.!

ජල ගාස්තුව දැනෙන්න බස්සයි.!

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බවයි.

විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි එම මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇති අතර සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොලිස් වදකයින් 4කගේ තරු පටි ගලවා ගෙදර යවයි.!

පොලිස් වදකයින් 4කගේ තරු පටි ගලවා ගෙදර යවයි.!

අධිකරණයේ ඇප මත නිදහස්ව සිටි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් සිදුවීමකට අදාලවයි.

වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවික්‍රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් සැරයන් සමන් ජයවර්ධන යන නිලධාරීන්ගේ සේවය මෙලෙස අවසන් කර ඇත.

මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27වනදා මෙම පොලිස් නිලධාරීන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කරමින් සිටියදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබු අතර නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තැබීය.

මේ සම්බන්ධයෙන් MediaLa YouTube නාලිකාවේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිදුකළ විශේෂ අනාවරණයයෙන් පසුව මේ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාශය, පොලිස් නීති දිසාව, විනය හා කල්ක්‍රියා කොට්ඨාශය, විසින් සිදුකළ පරීක්ෂණ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම වැඩතහනම සිදුකර තිබේ.

“සෑම ඝාතනයක් පසුපසම දේශපාලකයෙක්” හිනිඳුම ත්‍රිත්ව ඝාතනය හිටපු ඇමතිවරයෙක් දෙසට හැරෙයි.!

“සෑම ඝාතනයක් පසුපසම දේශපාලකයෙක්” හිනිඳුම ත්‍රිත්ව ඝාතනය හිටපු ඇමතිවරයෙක් දෙසට හැරෙයි.!

ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේදී පසුගිය 30 වනදා රාත්‍රියේ  11.15ට පමණ නාඳුනන තුවක්කුකරුවකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ලැගුම්හලක් තුළ පුද්ගලයින් පස් දෙනෙකු මන්පැන් පානය කරමින් සිටි ඇති අතර ඉන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වුයේ, ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉඳුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදිංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග කුමාර නම් පුද්ගලයන් තිදෙනෙකි.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

කෙසේවෙතත් එම ත්‍රිත්ව ඝතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුව අද (04) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ැති අතර මේ වන විට සැකකරුගෙන් ප්‍රශ්න කරමින් පවතින බව වාර්තා වේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් තිදෙනාට කිසිඳු පාතාල සබඳතාවක්ද නොමැති බව පොලීසිය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජන හමුවක් අමතමින් කියා සිටියේ සෑම ඝාතණයක් පසුපසම දේශපාලකයෙකු සිටිනා බවයි.

ජනපති අනුර ජාතිය අමතයි.!

ජනපති අනුර ජාතිය අමතයි.!

නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කෙරිණි.

උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනතාව අනාගත පොහොසත් රාජ්‍යයක් ගැන මෙන්ම නුතන ශ්‍රී ලාංකික ජාතියක් ගැන සිහින දකිමින් සිටින මොහොතක නිදහස් දිනය සැමරීමට ලැබීම විශේෂත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“මෙවර අපි සමරන්නේ සුවිශේෂි නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරුණු නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නේ අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රාජ්‍යයක් ගැන නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස් දිනය සමරන්නේ.

මේ දවස උදාකිරීම වෙනුවෙන් ආත්මීය පරිත්‍යාග කළ සියලු විරෝධාර මිනිසුන්ට අපේ ආචාර්ය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම නිදහස පූර්ණ වශයෙන් අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුන් ලබාදුන් යෂ්ටිය රැගෙන 1948න් පසුව තවත් විරෝධාර මිනිසුන් අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා.

ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මොහොත දක්වා අපි දීර්ඝ ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගමන තුළ අපි දන්නා වීරවරුන් හා වීරවරියන් සේම අපි නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ, කඳුළු, දහඩිය මතින් අද දක්වා අපි පැමිණ තිබෙනවා. ඒ සියලුදෙනාට අපගේ ආචාර්ය හිමිවෙනවා.

අපිට අපේ ආර්ථික නිදහස වෙනුවෙන් සමාජ, සංස්කෘතික නිදහස වෙනුවෙන් නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කරගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් තිබෙනවා.

කාලයක් පුරා යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කළ ජනවාර්ගික, ආගමික, කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයින් අතර, ආයතන ප්‍රධානීන් හා සේවකයින් අතර රාජ්‍ය සේවකයින් හා පොදු ජනතාව අතර ගුරුවරුන් හා සිසුන් අතර යන සෑම කේෂ්ත්‍රයකම මුල් බැසගත් අගතින් සෝදාහැර මේ සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා. 

අප මතක තියා ගත යුතුයි රටට ආර්ථික, සමාජීය, සංස්කෘතික නිදහස පුර්ණ ලෙස දිනාගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලුදෙනා එකම අරගල බිමක අරගලකරුවන් වන බව අප සියලුදෙනා එකාවන්ව මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා.

මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් හා ධීවරයින් ලෙස ඔබට එහි භූමිකාවක් තියෙනවා. අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන ඒ දැනුමින් අනාගත පරපුර පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට කාර්යභාරයක් තිබෙනවා.

අපේ ජාතියේ නිරෝගීකම සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාධරයින් ලෙස ඔබට එහි කාර්යභාරයක් තියෙනවා. අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරන පොලීසිය හා ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තියෙනවා.

ඔබ සියලුදෙනාට සුවිශේෂ භූමිකාවක් තියෙනවා. ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙක් නොවී සෑම චලනයකින් ම තැලෙන පෑගෙන යටත් වැසියෙක් නොවී, ආර්ථික තලයේ නිදහස සාක්ෂාත් කරගැනීමට නම් අප සියලුදෙනා එක්ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතුයි. අපේ ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අපි කරන අරගලය තුළ අපේ සමාජීය, සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කොට සැලකීමට අප සුදානම් නැහැ.

ඔබට අප විසින් භාරදෙනු ලබන රට අපට ඉතිහාසය විසින් භාරදුන් රට නොව ඔබ ජීවත් කිරීමට ආසා කරන පුරවැසි අභිමානය ගරු කරන දියුණු සංස්කෘතික රටක් වන බවයි. එමෙන්ම මානව ශිෂ්ටාචාරය මේ වනවිට අත්පත් කරගෙන ඇති විද්‍යාත්මක තාක්ෂණ හා චින්තනමය ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයින් ලෙස අත්විඳීමට ඔබට ඇති හිමිකම තහවුරු කළ රටක් වන බව ස්ථීර ලෙස මා ඔබ හමුවේ මෙසේ පවසන්නේ, ඉතිහාසය විසින් අපට උරුමකර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට යුක්ති සහගත අයිතියක් නොවන නිසයි. අපි එසේ නොකළ බවට අනාගතය සාක්ෂි දරයි.

මේ නිදහසේ සිහිනය එක්ව දකිමු. ඒ සිහිනය එක්ව සැබෑ කරගමු. ඔබ සහ මම අප සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නුතන දේශපාලන ලෝකයේ නොමැකන ආදර්ශයක් බවට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකා රාජ්‍ය පත්කරන ගමනක් විය හැකි බව ද මතක තබා ගන්න. නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත් රට බවට පත්විය නොහැකිය.

නමුත් අපි උත්සාහ කළොත් අපිට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සමානාත්මතාවය හා නිදහසේ රාජ්‍ය බවට පත්විය හැකියි.”

77 වන ජාතික නිදහස් දින සැමරුම ඇරඹේ.!

77 වන ජාතික නිදහස් දින සැමරුම ඇරඹේ.!

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.

නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

පාස්කුවේ ශාක්ෂිය නසන්න ලොකු සෙල්ලමක්.?

පාස්කුවේ ශාක්ෂිය නසන්න ලොකු සෙල්ලමක්.?

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් ආණ්ඩුව තුල සිටින බැවින් වෙනත් පුගලයන් පිට වරදා පටවා සැබෑ වගකිව යුත්තන් බේරා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙන බවයි.

අද දින (2025.02.03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී ගම්මන්පිල මහතා සිදුකළ සම්පූර්ණ කතාව

පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවත් තමන් ඔහුව අල්ලා ගන්නා බවත් පොරොන්දු වී මේ ආණ්ඩුව බලයට පැමිණි බව කවුරුත් දන්නා කරුණක්. සැබැවින්ම මේ ප්‍රහාරයට වගකිවයුතු අය මේ ආණ්ඩුව තුල සිටින නිසා කවුරුන් හෝ මහ මොලකරුවෙකු බවට පත් කර සැබෑ වගකිවයුත්තන් බේරා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ දිනවල පාස්කු ප්‍රහාරය ගැන අළුත්ම තිර රචනයක යෙදිලා ඉන්නවා.

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ සුරේෂ් සලේ ඇතුළු ලංකාවේ බුද්ධි අංශයි කියලා චැනල් ෆෝ නාලිකාව නගපු චෝදනාව අපි හෙලි කළ ඉමාම් වාර්තාවෙන් ඉතාම තාර්කිකව බිඳ හෙලලා තිබුණා.

ඒ වාර්තාව හැදුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ ජනාධිපති නීතිඥයෙකු කියන එකත් අපි සිහිපත් කරන්න ඕනි. අපි ඒක හෙලිදරව් කලාට පස්සේ වෙනත් බොරුවක් හදා ගන්න ආණ්ඩුව උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. ඒ නිසා ආණ්ඩුව මේ බොරුව තව දුරටත් වැඩි දියුණු කරලා මුලින්ම හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරය සිදු කලේ ජනපතිවරණයේ දී ගෝඨාභය මහතාට වාසියක් ලබා ගැනීමේ අරමුණින් ලංකාවේ බුද්ධි අංශ යැයි කියන මිත්‍යාව තමයි ස්ථාපිත කරන්න හදන්නේ.

පාස්කු ප්‍රහාරය ලංකාවේ බුද්ධි අංශවල වැඩක්ය කියන බොරුව චැනල් ෆෝ නාලිකාව හරහා ලෝකයට කිව්වේ මොහොමඩ් මිහිලාර් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා. ඔහු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට පැන ගිහින් ඉන්නේ. මවුලානා චැනල් ෆෝ නාලිකාව හරහා පාස්කු බොරුව කීම දිට්ට ධම්ම වේදනීය කම්ම පලිසන් දුන්නා වගේ එයා ඊට වඩා අමාරුවක වැටුණා. මවුලානා විවාහ දෙකක් කරගෙන හිටියේ. දෙවන විවාහය කර ගන්නේ බොරු නමක් දීලා ව්‍යාජ විවාහ සහතිකයක් හදලා. බිරින්දෑවරු දෙන්නාටම හොරෙන් තමයි මෙයා ස්විට්සර්ලන්තයට පැන ගන්නේ.

තමන් විවාහ වුණේ අසාද් මවුලානා සමග කියලා දෙවන බිරිඳ දැන ගත්තේ චැනල් ෆෝ වීඩියෝව දැකලා. එයා සයින්දමර්දු ප්‍රදේශයේ පදිංචි ෆාතිමා ජෙස්ලි බෙනාසීර්. බොරු නමකින් විවාහ වීම ගැන මවුලානාට විරුද්ධව සයින්දමර්දු පොලිසියේ පැමිණිල්ලක් කරනවා. පොලිසිය පැමිණිල්ල විමර්ශනය කරලා කල්මුණේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩු අංක බී/811/2023 යටතේ උසාවියට කරුණු වාර්තා කරනවා. උසාවිය වහාම මවුලානාට විදෙස් ගමන් තහනමක් පනවනවා. ඒ තහනම ලබා ගන්න විටත් මොහු රටින් පැනලා හිටියේ.

මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්න නම් මවුලානාගේ ප්‍රකාශයක් ඕනි. නමුත් විදෙස් ගමන් තහනම තිබෙන තුරා ඒ ප්‍රකාශය ලබා දෙන්න මවුලානාට ලංකාවට එන්න බෑ. මොකද විදෙස් ගමන් තහනමක් තිබෙන කෙනෙක් ගුවන් තොටුපොලෙන් ඇතුළු වන විට අත්අඩංගුවට පත් වන නිසා.

ඒ නිසා විදෙස් ගමන් තහනම ඉවත් කරලා මවුලානා ලංකාවට ගෙනැවිත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ප්‍රකාශයක් කරවන්න ආණ්ඩුව තීරණය කරලා. මේ වන විට ව්‍යාජ විවාහ සහතිකය සකස් කරන්න මවුලානාට උදව් කරපු අබ්දුල් රහීම් නැමැත්තා අත්අඩංගුවට අරන් ඇප පිට ඉන්නේ. ඒ නිසා මවුලානාගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන්න පොලිසියට එකඟ වෙන්න බෑ.

මේ තත්වය යටතේ මවුලානාගේ නීතිඥයෙකු විදෙස් ගමන් තහනම ඉවත් කර ගන්න උසාවියට කරුණු දක්වන විට විරුද්ධ නොවන මෙන් සයින්දමර්දු පොලිසියට ඉහලින් උපදෙස් ලැබිලා. මට තිබෙන තොරතුරු අනුව අම්පාර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු තමයි මේ නීතිඥයා ලැහැස්ති කරලා තිබෙන්නේ. ඒ නිලධාරියාගේ නම මට ලැබුණත් ඒ බව සනාථ කරන සාක්ෂි කිසිවක් මට නැති නිසා මම නම සඳහන් කරන්නේ නෑ.

ඒ අනුව පසුගිය ජනවාරි 21 දා පොලිසියේ කිසිම විරෝධයකින් තොරව මවුලානාට තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කරනවා. පොලිස් නිලධාරින් මේ කරපු නීති විරෝධි වැඩෙන් අනාගතයේ දී ප්‍රශ්නයක් ඇති වේවි කියන බයට තමන් පොලිසියට පැමිණිලි කලේ පිල්ලෙයාන්ගේ බලපෑමට කියා දෙවන බිරිඳ ෆාතිමා ජෙස්ලි බෙනාසීර්ගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය උත්සාහ කලත් ෆාතිමා ඒක ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයින් බියට පත් වුණු පොලිස් නිලධාරින් ෆාතිමාගෙන් ප්‍රකාශයක් පටිගත කරගෙන DCDB නැතිනම් Divisional Crime Detective Bureau වල සටහන් කර ගබඩා කර තිබෙනවා.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු කීර්තිමත් පුද්ගලයින් තිදෙනෙකුගේ සාමාජිකයත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කමිටුවකින් බොරුවක් කියලා ඔප්පු කරලා තිබෙන කරුණකට පණ දෙන්න ආණ්ඩුව මහජන මුදල් නාස්ති කිරීම අපි අමතක කරමු. මොකද මහ මොලකරුවෙකු සොයා ගන්න බැරිව ආණ්ඩුවට විපතක්නෙ වෙලා තිබෙන්නේ. නමුත් බොරු නමක් දීලා වංචනිකව කාන්තාවක් විවාහ කරගත් කෙනෙකුට එරෙහිව විභාග වන නඩුවක් කඩාකප්පල් වන අයුරින් මවුලානාව ලංකාවට ගෙන්වීම ගැන කාන්තා විමුක්තිය ගැන පොත් ලියූ දේශනා පැවැත්වූ අගමැතිතුමියට කරන නිගාවක් විධියටයි අපි දකින්නේ.

පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම බොරු පරීක්ෂණයක් කරන්න. ඒත් මවුලානාට තිබෙන අනිත් චෝදනා වල විමර්ශන යට ගැසීමේ පගාව ලෙස ආණ්ඩුවට අවශ්‍ය දේවල් ඔහු ලවා කියවා ගන්න උත්සාහ කරනවා නම් ඒක වැරදියි. අපි ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ. පාස්කු ප්‍රහාරය ගැන මවුලානාගෙන් ප්‍රකාශය ලබා ගන්නා අතරේ ඔහු කර තිබෙන අනෙකුත් අපරාධ ගැනත් අවශ්‍ය විමර්ශන කර ප්‍රකාශ ලබා ගන්න. එතෙක් ඔහුට ලංකාවෙන් යන්න දෙන්න එපා.

මවුලානාට එරෙහිව තිබෙන්නේ බොරු නමකින් පෙනී සිටිමින් දෙවන විවාහයක් කර ගැනීම විතරක් නොවේ. ඉමාම් කමිටු වාර්තාව අනුව සහරාන්ලාට උදව් කරලා තිබෙන්නේ අපේ බුද්ධි අංශ නොවේ. බුද්ධි අංශ වලට චෝදනා නගන අසාඩ් මවුලානා. බෝම්බයක් අත්හදා බැලීමේ දී සහරාන්ගේ මල්ලි රිල්වාන් තුවාල ලබනවා. ඔහුට ප්‍රතිකාර කරන්නේ මවුලානාගේ දෙහිවල දී මෙන්ම තමන්ගේ ගම වන මරතමුනෙයි පුද්ගලයෙකු වන සෆ්රාස් මොහොමඩ් සුෆියාන් කියන වෛද්‍යවරයෙක්. මේ නිසා විමර්ශන කමිටුවේ නිගමනය නම් මවුලානාට සහරාන් සමග සම්බන්ධයක් තිබුණා කියන එකයි. ඒ නිසා තමයි මවුලානා ලංකාවෙන් පිටත ජීවත් වෙන්න උත්සාහ කලේ කියලා. එතකොට බුද්ධි අංශ වලට වරද පටවන්න යොදා ගන්නේ ඇත්තටම පාස්කු ප්‍රහාරයේ සැකකාරයෙක්. ඒ සැකකාරයා සාක්ෂිකාරයා කරලා ප්‍රහාරය ගැන කලින්ම අනතුරු ඇඟවූ බුද්ධි අංශ වැරදිකරුවන් කරන්නේ සැබෑ වැරදිකරුවන් රැක ගැනීමමේ ආන්ඩුවේ කූට වෑයමක් කියලා අප විශ්වාස කරනවා.

බොරු නමකින් පෙනී ඉඳලා දෙවන විවාහයක් කරගෙන කාන්තාවක් රැවටූ මවුලානාව ආණ්ඩුව විශ්වාස කරනවා නම් කීර්තිමත් පුද්ගලයින් හදපු කමිටු වාර්තාවත් ආණ්ඩුවට ඊට වඩා විශ්වාස කරන්න එපායැ. ඒ නිසා බෝම්බ අත් හදා බලන්න ගිහින් තුවාල වුණු රිල්වාන්ට උදව් කිරීම ගැනත් පාස්කු ප්‍රහාරයට සහය දීම ගැනත් අනිවාර්යෙන්ම මවුලානාගෙන් ප්‍රශ්න කළ යුතුයි.

මුස්ලිම් චාරිත්‍රයක් තියෙනවා දෑවැද්ද දෙන්න ඕන මනමාලයා විසින් මනමාලීට ඒ අනුව 2022 පෙබරවාරි 22 ක තමන්ගේ අර දෙවන විවාහ කර ගන්න අවස්ථාවේදී අසාද් මවුලානා ලක්ෂ 20 මහාර් නමින් හදුන්වන දෑවැද්ද රුපිලියල් ලක්ෂ 20ක ස්වෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ චෙක්පතක් ෆාතිමා බෙනාසීර්ට ලබා දෙනවා. හැබැයි මේ චෙක්පත අගුරු වෙනවා. ගිණුමේ සල්ලි නැතිව වංචනිකව ලබා දුන් චෙක්පතක් මේ පිළිබඳවත් ෆාතිමා පොලිසියට පැමිණිලි කරනවා. එහෙනම් පොලිසිය අසාද් මවුලානා ගෙනල්ලා විතරක් මදි. මේ චෙක්පත් වංචාව ගැනත් අනිවාර්යෙන්ම විමර්ෂන කළ යුතුයි.

ඒ වගේම මවුලානා දෙහිවල ස්පෑන් ටවර්හි සුපිරි නිවාසයක් ඔහුගේ නමින් මිල දී ගෙන තිබෙන බවට චෝදනාවක් තිබෙනවා. ත්‍රස්තවාදි ක්‍රියා වලට උදව් කිරීමෙන් ලැබුණු මුදල් යොදවා ඒ නිවස මිල දී ගත් බවයි චෝදනා එල්ල වෙන්නේ. ඒ නිසා මුදල් විශුද්ධිකරණය පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුයි.

දැන් අපි මේ කාරණා ටික සංක්ෂිප්ත කලොත් ප්‍රහ්න 8ක් අහනවා.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක අපේ හිතවත් ගරු නලින්ද ජයතිස්ස ඇමතිතුමනි, පොලිස්පතිතුමනි,

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි,

මේ ප්‍රශ්න 8ට පිලිතුරු දෙන්න.

1) කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් කරගෙන යෑම සඳහා ලබා ගත් අසාද් මවුලානාගේ විදෙස් ගමන් තහනම ඉවත් කලේ කාගේ බලපෑමට ද?

2) මවුලානාට එරෙහිව ෆාතිමා ජෙස්ලි බෙනාසීර් කළ පැමිණිල්ල තමන් විසින් ‍පිල්ලෙයාන්ගේ බලපෑමක් නිසා කරපු පැමැණිල්ලක් බවට ප්‍රකාශයක් කරන ලෙස පොලිසිය බලපෑම් කලේ කාගේ උවමනාවට ද?

3) තමන්ට පොලිසිය බලපෑම් කරන බවට ෆාතිමා බෙනාසීර්ගෙන් ලබා ගත් පටිගත කළ ප්‍රකාශයක් අම්පාර පොලීසියේ DCDB හී සටහන් තබා ඇත්ද?

4) සහරාන්ගේ සොයුරු රිල්වාන්ට ප්‍රතිකාර කළ සෆ්රාස් මොහොමඩ් සුෆියාන්ව රිල්වාන්ට හඳුන්වා දීම ගැන පොලිසිය මවුලානාගෙන් ප්‍රශ්න කරනවා ද?

5) ව්‍යාජ නමකින් පෙනී සිට ෆාතිමා බෙනාසීර්ව වංචනිකව විවාහ කර ගැනීම පිළිබඳ කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියේ නඩු අංක බී/811/2023 යටතේ ඇති නඩුව සඳහා මවුලානාව කල්මුනේ උසාවියට ඉදිරිපත් කරනවා ද?

6) දෙහිවල ස්පෑන් ටවර්හි සුපිරි නිවාසයක් ඔහුගේ නමින් මිල දී ගෙන තිබෙන බවට තිබෙන චෝදනාව පිළිබඳ මුදල් විශුද්ධිකරණ පනත යටතේ මවුලානාගෙන් ප්‍රශ්න කරනවා ද?

7) 2022 පෙබරවාරි 22 දිනැති රුපියල් ලක්ෂ 20ක ස්වෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ චෙක්පතක් විවාහ වන අවස්ථාවේ බිරිඳට මහාර් ලෙස ලබා දෙමින් එම චෙක්පත අගුරු විමේන් කල චෙක්පත් වංචාව පිළිබඳ ආසාද් මවුලානාට නීතිය ක්‍රියාත්මක කරනවාද?

8) ජනාධිපති විමර්ශන කමිටුවක් විසින් බොරුවක් බවට තහවුරු කර ඇති බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය කලායැයි කියන මිත්‍යාව යලි පන ගැන්වීමට තීර පිටපත් සකස් කරන්නේ පුංචි ඡන්දයේදී ජනතාව යළිත් වරක් රැවටීමට ද?

මෙන්න මේ ප්‍රශ්න 8ට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමතිතුමා හෝ පොලිස්පතිතුමා හෝ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතමන් පිළිතුරු දෙනු ඇතැයි වහා වහා පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරෙත්තු වෙනවා.

බංකොලොත් රටක නිදහස් සැමරුමක අසිරිය.. පානීය ජලය සඳහා ලක්ෂ 86යි.!

බංකොලොත් රටක නිදහස් සැමරුමක අසිරිය.. පානීය ජලය සඳහා ලක්ෂ 86යි.!

අල්ලස, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 75 සහ 76 වන නිදහස් දින සැමරුම් අතරතුර සිදුකර ඇති අති විශාල මහජන මුදල් නාස්තියක් මෙන්ම දූෂණයන් රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරයි.

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ලබාගත් වියදම් වාර්තා උපුටා දක්වමින් ඔහු අනාවරණය කළ තොරතුරු මෙසේය.

75 වන නිදහස් දින සැමරුම සඳහා සිංහ කොඩි මිලදී ගැනීමට රුපියල් ලක්ෂ දාහතරකට අධික මුදලක් වියදම් කර ඇති අතර වසරකට පසු නැවත 76 වන නිදහස් දින සැමරුමේදී සිංහ කොඩි මිලදී ගැනීම සඳහා ලක්ෂ විසි හතරකට අධික මුදලක් වියදම් කර ඇත.

75 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ විස්සකට වැඩි මුදලක් වියදම් කර ඇති අතර 76 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ හතලිහකට අධික මුදලක් යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ විදුලිය සඳහා ලක්ෂ දෙසීයකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හාරසියයකට අධික මුදලක් වියදම් කර ඇත.

75 වන නිදහස් උත්සවයේ නවාතැන් පහසුකම සඳහා ලක්ෂ දොලහකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ විසිපහකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ පානීය ජලය සඳහා ලක්ෂ හතලිස් තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ අසූහයකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ අකුණු සන්නායක සඳහා ලක්ෂ තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හයකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ ඩී.එස් සේනානායක පිළිරුවේ මල් බඳුන සඳහා හතලිස්දහසකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ අසූදහසකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ ජංගම වැසිකිලි සඳහා ලක්ෂ එක්සිය හතලිහකට අධික මුදලක්ද, සනීප ආරක්ෂක කටයුතු සඳහා ලක්ෂ හතකට අධික මුදලක්ද යොදවා ඇත.

ඒ අනුව 75 වන සහ 76 වන නිදහස් උත්සව දෙකේ වැසිකිලි අවශ්‍යතාව වෙනුවෙන් ලක්ෂ තුන්සීයකට අධික මුදලක් වැය කර ඇති බව කාමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.

We are happy to invite you.