Main news (Sinhala)

කිකුත් කර ඇති වාහන පර්මිට් 20,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

කිකුත් කර ඇති වාහන පර්මිට් 20,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

මෙවර වාහන ආනයනේදී වාහන තීරු බදු සහන බලපත්‍ර සඳහා අවසර ලබා නොදෙන බවත් ඉදිරියේදී ඒ ගැන සලකා බලය හැකි බවත් ජනපතිවරයා පවසයි.

ඊයේ (22) දිනයේ සිරස නාලිකාවේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ වනවිට නිකුත්කර ඇති ඇති වාහන බලපත්‍ර 20,000කට අධික සංඛ්‍යාවක් ඇති බවත් එම බලපත්‍ර ලාභීන්ට ඉදිරියේදී යම්කිසි වැඩපිළිවෙලක් යටතේ සහන සැලසීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වාහන මිලට හරියටම සිදුවන දේ හරිම කෙනා පහදයි.!

වාහන මිලට හරියටම සිදුවන දේ හරිම කෙනා පහදයි.!

පෙබරවාරි මාසයේදී වාහන වෙළඳපළ යළි විවෘත කිරීමෙන් පසු වත්මන් වෙළඳපොලේ පවතින වාහන මිල සහ ආනයනික වාහන මිල අතර සැලකියයුතු පරතරයක් පවත්වාගැනීමට අදහස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ සිරස සටන වැඩසටහනට එක්වෙමින් පැවසීය.

ඉන් අනතුරුව ක්‍රමිකව වෙළඳ වල හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරමින් බදු සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

එහි අරමුණ වනුයේ වසර ගනනාවකින් පසු විවරවන වාහන වෙළඳපොල හරහා පළමු මාසයේදීම ඩොලරය මත වැඩි තෙරපුමක් ඇති නොකිරීම බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙරට තුළ දැනට පවතින දෙවන පෙළ වාහන වෙළඳපළේ මිල විශාල ප්‍රමාණයකින් අඩු වුවහොත් එය බැංකු පද්ධතිය ඇතුළු මුල්‍ය ආයතන අර්බුදයකට පත්කරනු ඇති බවද ජනපතිවරයා පැවසීය.

ඉහත සියළු කරුණු සැළකිල්ලට භාජනය කරමින් ක්‍රමානුකූලව වාහන මිල ගණන් අඩු කිරීමට හැකි බව ජනපතිවරයා සිහිපත් කළේය.

ලොකු ෆයිල් 29,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

ලොකු ෆයිල් 29,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විවිධ අපරාධ සම්බන්ධයෙන් ලිපිගොනු 29,000ක් පවතින බවත් ඒවා අතුරින් මූල්‍ය අපරාධවලට සම්බන්ධ සියලු ගොනු මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත භාර දී කඩිනම් විමර්ශන සිදු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරි සති දෙකක කාලය තුළ යලි ආරම්භ කරන බවත් කාලයේ වැලි තලාවට යටවී තිබූ සියලු අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් සිදුකරන බවත් ඇමැතිවරයා අවධාරණය ක්ළේය.

“අපි භාර ගත්තේ මොන වගේ පසුබිමක් යටතේ තිබුණු රටක් ද කියන එක අපි තේරුම් ගත යුතුයි. ඇති තරම් අපරාධවලින් මේ රට තෙත්වී තිබුණා. අපි භාරගත්ත රට අපි යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා යනු වත්මන් රජයේ ප්‍රධාන වැඩසටහනක්.

වැවක් පිරිසිදු කිරීම, මාර්ග අනතුරු අවම කර ගැනීම, කැළි කසළ පිරිසිදු කිරීම ආදියට පමණක් ලඝු කරමින් මෙම වැඩසටහන හෑල්ලුවට ලක්කළා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යනු ආර්ථික හා භෞතික සංවර්ධනයෙන් ඔබ්බට ගිහින් මහජනයාගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම සඳහා එක් පැත්තකින් සමාජීය හා පාරිසරික වශයෙනුත් නව වෙනස්කම් ඇති කරමින් ශ්‍රී ලාංකේය සමාජ ප්‍රමිතියක් සහිතව රට ගොඩගැනීම වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහනක්.”

මේ සඳහා සියලු අමාත්‍යාංශ, ආයතන, ප්‍රජා සංවිධාන, ව්‍යාපාරිකයින් රාජ්‍ය නොවන සංවිධාන, පොදු මහජනතාව ආදි වශයෙන් වූ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන වැඩසටහනක්. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ලබාදීම වෙනුවෙන් සිදුකරන පුළුල් සමාජ පරිවර්තනයක් සහිත වැඩසටහනක්. සමස්ත සමාජ ක්‍රියාවලිය තුළම පරිවර්තනයක් ඇති කිරීම මෙහි අරමුණයි. මේ සඳහා වැඩපිළිවෙළක්, දැක්මක්, මාර්ග සිතියමක් ඇතිවයි ආරම්භ කළේ. මේ වැඩසටහනට දැක්මක් වැඩපිළිවෙළක් නැහැ කියලා කාටවත් කියන්න බැහැ.

මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පිළිතුරු දිය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. අල්ලස දූෂණය, පාතාලය, මැරකම් ආදි බොහෝ දේවල් ගැන කතා කරනවා. කියන්න සතුටුයි මේ වෙනකොට පොලිසිය දේශපාලනීකරණයෙන් තොර ආයතනයක් බවට පත් කිරීම වෙනුවෙන් අපි කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ හැකියාව, දැනුම ආදිය පදනම් කරගනිමින් අවස්ථාව ලබාදීමට අපි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මේ මාස දෙක තුන ඇතුළත අපි සුවිශේෂ කාර්ය භාරයක් ඉටුකර තිබුණා. එසේ තිබියදීත් නාමල් රාජපක්ෂ මහතා වැනි අය විවිධ මතවාද සමාජ ගතකිරීමට උත්සාහ කළා. මහජනයාගේ අනුමැතියෙන් තොරව කිසිවක් අපි සිදුකරන්නේ නැහැ. ජන සහභාගිත්වය ඇතිවයි අපි සියල්ල සිදු කරන්නේ. ඒ නිසා මේ වැඩසටහන ලඝු කරන්න එපා. සමස්ත වැඩපිළිවෙළ අගය කළ යුතුයි.

පොලීසිය ගත් යම් යම් ක්‍රියාමාර්ග නිසා මාර්ග අනතුරු යම් ප්‍රමාණයකින් අඩුවී තිබෙනවා. සමහර දවස්වල දිනකට හය හතක් මාර්ග අනතුරුවලින් මිය යනවා. ඒ වගේම මාර්ග අනතුරුවලින් මියයන පිරිස අඩුකර ගත යුතුයි. අපි අනුගමනය කළ විවිධ ක්‍රියාමාර්ග නිසා දිනකට මියයන ගණන දෙක තුනක් දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.

මේ රටේ ජනතාව හා ආයතන තම තමන්ට හැකි පමණින් මෙය අවබෝධ කර ගත යුතුයි. මේ රට අපරාධ දේශයක් බවටයි පත්ව තිබුණේ. අපරාධ මර්දනයට විශාල පිරිසක් සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කරනවා. නමුත් මේ අපරාධවලට සම්බන්ධ සුළු පිරිසක් නිසා ආරක්ෂක අංශවල කීර්තිනාමයත් විනාශ වෙනවා. යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් හය දෙනෙක්, පොලීසියේ කෙනෙක්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක්, ඊට අනුබල දුන් තවත් 15ක් වශයෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ දින කිහිපය තුළ ආයුධ ලෙස අපි ටී 56 අවි 07ක්, පිස්තෝල 10ක්, රිවොල්වර 17ක්, ඇතුළු ආයුධ බොහෝ ප්‍රමාණයක් ‌ සොයාගෙන තිබෙනවා. කේරල ගංජා, කොකේන්, අයිස් කිලෝ විශාල ප්‍රමාණයක් වශයෙන් මත්ද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක් මේ මාස දෙක තුන තුළ සොයාගෙන තිබෙනවා. රජයක් ලෙස අපි පොරොන්දු වෙනවා, කාලයේ වැලිතලාවට යටවී තිබු සියලු අපරාධ සම්බන්ධයෙන් අපි විමර්ශන සිදු කරනවා. මෙතන කතා වුණා ෆයිල් හාරසිය, පන්සියය ගැන. නමුත් මම කිව යුතුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ෆයිල් 29000ක් තිබෙනවා. මූල්‍ය අපරාධ කොට්ඨාසය තව සති දෙකක් තුළ ආරම්භ කරලා මූල්‍ය අපරාධවලට සම්බන්ධ ෆයිල් එම අංශයට ලබා දෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි සාධාරණය ඉටුකරනවා. මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඬලීම වෙනු‍ෙවන් අපි විශේෂ කාර්ය භාරයක් ඉටුකරනවා.

දළඳා පෙරහැර නතර කළාට මිලියන 200ක වන්දියක්.!

දළඳා පෙරහැර නතර කළාට මිලියන 200ක වන්දියක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් ජාතික ජන බලවේගයේ රජ‍යක් බලයට පත් වුවහොත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වීම නවත්වන බවට ප්‍ර‍කාශ කරමින් සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ගොනුකර ඇති නඩුවේ උත්තර බැඳීම ලබන ජුනි 03 වැනිදාට සිදු කරන ලෙස කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය වගඋත්තරකාර පාර්ශ්වයට ඊයේ (21) නියම කළාය.

මෙම නඩුව ඊයේ (21) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් තමන්ට උත්තර බැඳීමට අමතර කාලයක් ඉල්ලා සිටි අතර ඒ අනුව ලබන ජුනි මස 03 වැනිදාට පැමිණිල්ල සම්බන්ධයෙන් වන පිළිතුරු ගොනු කිරීමට අධිකරණයෙන් වගඋත්තරකරුවන්ට දින නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඉකුත් අගෝස්තු 19දා මාවනැල්ලේ පැවැති රැස්වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අසත්‍යය හා ද්වේශසහගත ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මෙම නඩුව ගොනු කර තිබිණි.

පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණයට ගොනුකර ඇති තොරතුරු අනුව මෙම නඩුවේ දෙවැනි වගඋත්තරකාර රූපවාහිනි සමාගම මෙම සිද්ධිය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ප්‍රකාශ කර, අනතුරුව පසුදා උදෑසන පුවත්පත් සිරස්තල වැඩසටහන ඔස්සේ ද විකාශය කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරියක හා දේශපාලන ක්‍රියාධරයකු ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ගොඩනඟාගෙන ඇති කීර්තිනාමයට හානි වන ආකාරයේ ද්වේශසහගත ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුගෙන් හා එය විකාශනය කළ පෞද්ගලික මාධ්‍ය නාළිකාවකින් රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබේ.

විද්‍යා හා තාක්ෂණ ඇමති, පට්ටම් ගලවයි.!

විද්‍යා හා තාක්ෂණ ඇමති, පට්ටම් ගලවයි.!

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ (21) ඉවත් කර ඇත්තේ අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව බ වාර්තා වේ.

ක්‍රිෂාන්ත අබේසේන මහතාගෙන් පවසන්නේ මහාචාර්ය තනතුරක් දැරුවද දැනට තමා විශ්ව විද්‍යාල සේවයේ නොමැති හෙයින් එම නාමය පාවිච්චි නොකිරීමට තීරණය කළ බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවල හෝ කිසිදු නිල ලියකියවිල්ලක තමා මහාචාර්ය පදවිය සඳහන් නොකරන බවද අවධාරණය කළේය.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් වීම සම්බන්ධයෙන් රහස් පොලීසිය සිදුකරනු ලබන විමර්ශන තවදුරටත් අවසන් වී නොමැති බව වාර්තා වේ.

පොල් මිලියන 200ක් ආනයනයට පියවර.!

පොල් මිලියන 200ක් ආනයනයට පියවර.!

ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් මහතා පැවසූවේ ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ඔහු පවසන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බවත් පැවසූ සභාපතිවරයා දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බව අවධාරණය කළේය.

පොල් ගෙඩි මිලියන 200ට සාපේක්ෂව පොල් කිරි, පොල් මද, වියළි පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව රජයට යෝජනා කළ බවත් ඔහු කියා සිටියේය.

මේ අතර පොල් පොහොර කිලෝ 50ක ඇසුරුමක් රු 1,500 සිට රුපියල් 12,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් පොල් වගාවට පොල් පොහොර දැමීම සිදුකරන්නේ වගාකරුවන් සියයට 10කට අඩු සංඛ්‍යාවක් බවද එය පොල් හිඟයට ප්‍රධානත්ම හේතුව බවත් ඔහු පැවැසුවේය. 

මෙයට විසඳුමක් ලෙස කිලෝ 50ක පොල් පොහොර බෑගයක් අවම වශයෙන් රුපියල් 4,000ක මිලකට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ සභාපතිවරයා එළැඹෙන අයවැයෙන් පොල් පොහොර මිල අඩු කිරීමට නියමිත බව ද කියා සිටියේය.

එමෙන්ම පොල් වගාකරුවන්ට ජලසම්පාදනයට සහ පස සංරක්ෂණය සඳහා සහනාධාරයක් ලබාදෙන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය

රජයේ ඉහළ තනතුරු 3ක⁣ට නව පත්කිරීම්.!

රජයේ ඉහළ තනතුරු 3ක⁣ට නව පත්කිරීම්.!

ඉහළ තනතුරු 3ක් සදහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව ඇති අතර අදාළ පත්කිරීම වසරක කාලයක් සදහා වලංගු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආචාර්ය ඊ.ආර්.එස්.පී එදිරිමාන්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස ආර්.ඒ චන්දන සමන් රණවීර ආරච්චි පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

පත්වී මාස දෙකට ආරක්ෂක ඇමති සුපිරි ගේමක් ගහලා.. පාර්ලිමේන්තුවේ ලොකු සද්දයක්.!

පත්වී මාස දෙකට ආරක්ෂක ඇමති සුපිරි ගේමක් ගහලා.. පාර්ලිමේන්තුවේ ලොකු සද්දයක්.!

අද (21) පාර්ලිමේන්තුවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූවේ මෑත කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩිතැබීම්වලට සම්බන්ධව සැකපිට යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් 6 දෙනෙක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සහ සංවිධානාත්ම අපරාධකරුවන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවය.

“පසුගිය සැප්තැම්බර් 23 වනදා සිට මේ දක්වා සිදුවූ අපරාධ ගැන අවධානය යොමු කළාම සේවයේ සිටියදීම යුද හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කටයුතුවල නිරත වෙනවා.”

“මේ දින කිහිපය තුළ යුද හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා, යුද හමුදාවේ සෙසු නිලයන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා, පොලිස් නිලධාරියෙක් අත්අඩංගුට අරගෙන තිබෙනවා, සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා, සංවිධානාත්ම අපරාධකරුවන් 15ක් සහ අපරාධවලට අනුබලදීම සම්බන්ධයෙන් තවත් 15ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පහත පරිදි ආයුධ සොයාගත් බවයි.

T56 ගිනිඅවි 7ක්
පිස්තෝල 10ක්
රිවෝල්වර් 14ක්
බෙහෙත් කොටන තුවක්කු 461ක්
බෝර 12 ගිනිඅවි 58ක්
ගල්කටස් 13ක්
රිපීටර් 2ක් 

මේ මාස 2 ඇතුළත හෙරොයින් කිලෝග්‍රෑම් 354ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3847ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 181.9ක්, අයිස් කිලෝග්‍රෑම් 759ක් ද සොයාගෙන තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මූල්‍ය අපරාධ කොට්ඨාසය නැවත ලබන සතියේ ස්ථාපිත කෙරෙන බවත් ඔහු පැවසීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති ලිපිගොනු 29,000 තුළින් මූල්‍ය අපරාධ ලිපිගොනු එම කොට්ඨාසයට භාරදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ක්ලීන් ශ්‍රී ලංකා ඇතුළු රජයේ ව්‍යාපෘති සදහා ලෝක බැංකුවේ සහාය.!

ක්ලීන් ශ්‍රී ලංකා ඇතුළු රජයේ ව්‍යාපෘති සදහා ලෝක බැංකුවේ සහාය.!

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති හමුවේදී, රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සදහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) සදහන් කරයි.

තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම, හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සදහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබාදීමට මෙහිදී එකඟතාව පළකර ඇති අතර අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සදහා වූ නව ව්‍යාපෘති සදහා ආධාර ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සදහන් කළ අතර නව රජය ආරම්භ කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සදහාද, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සදහාද අවශ්‍ය ආධාර ලබාදෙන ලෙසද ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 28%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නියෝජනය කළත්, ශ්‍රී ලංකා ආර්ථිකයට කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ලබාදෙන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් පමණක් වීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය අනුව ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට නව රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක බැංකු නියෝජිතයින්ට පැහැදිලි කළේය.

තරුණ ප්‍රජාව සඳහා රැකියා උත්පාදනය සම්බන්ධයෙන් රජය සතු වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, 2025 වසරේදී මෙරටට වැඩිපුර සංචාරකයින් ආකර්ෂණය කිරීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.

ගුවන්තොටුපොළ හා වරාය සංවර්ධනය සදහා නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් වරාය සංවර්ධනය කිරීම කඩිනමින් සිදුකරන බවත් විශේෂයෙන්ම උතුරු සංවර්ධනය සදහා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවත් උතුරේ ආයෝජන කලාප තුනක් ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

උතුරේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, ජල පහසුකම් ලබාදීම, උතුරේ ජනතාවගේ සමාජ ප්‍රශ්නවලට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා රැක ගනිමින් විසඳුම් සෙවීමටද කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක තවදුරටත් සදහන් කරයි.

“පළමු දින සීය ආණ්ඩුව Fail”: ප්‍රගතිවාර්තා පිරික්සයි.!

“පළමු දින සීය ආණ්ඩුව Fail”: ප්‍රගතිවාර්තා පිරික්සයි.!

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (20දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසූවේ වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත් නොවී ඇති බවයි.

මුජිබර් රහුමාන් මහතා එහිදී වැඩි දුරටත් පැවසූවේ ආණ්ඩුවේම මැති ඇමතිවරු පවා ඒ සම්බන්දයෙන් සෑහීමකට පත්ව නොමැති බවයි.

“අද වන විට ජාතික ජන බලවේගය, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 100 සම්පූර්ණ වෙලා තියෙනවා. ආණ්ඩුවක දින 100 තමයි ඕනෑම ආණ්ඩුවක් බලයට ආවම වැදගත් වෙන්නේ. මේ ආණ්ඩුව බලයට ගෙනාපු විශාල ජනතාවක් විශාල අපේක්ෂාවන් තියාගෙන මේ රටේ ඉන්නවා.

ආණ්ඩුව ඡන්ද කාලයේදී බලාපොරොත්තු ලබා දුන්නා. ඒ අනුව ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතනවා, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කතා වලිනුත්, සමහර මැති ඇමතිවරුන්ගේ කතා වලිනුත් ඔවුන්වත් මේ ආණ්ඩුවේ දින 100 ගැන සන්තෝෂයකට එහෙළ නැතිනම්, සෑහීමකට පත්වෙලා නෑ කියලා.

මොකද දින 100 ප්‍රගති වාර්තාව ආරන් බැලුවොත් අපිට පේනවා ආණ්ඩුව ඒ දින 100 ප්‍රගති වාර්තාව තුළ විශේෂයෙන් කෙටිකාලීනව ආණ්ඩුව කරනවා කියලා ලබා දුන් පොරොන්දු ඉෂ්ට කරගන්න බැරිවෙලා තියෙනවා.

දින 100 දිහා අපි හැරිලා බැලුවළ ආණ්ඩුවේ දින 100 ගමන සාර්ථකත්වයක් ලබා ගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නෑ කියන එක අපි පැහැදිලිවම පෙන්වලා දෙන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා එක එක දේවල් කියන්න පුළුවන්. අගමැතිතුමිය කියන්න පුළුවන්. ඒ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ඇමතිවරු නොයෙකුත් සුරංගනා කතා කියන්න පුළුවන්.

ඒවා තවම කෙරෙනවා. නමුත් අපි යථාර්ථවාදීව, ප්‍රායෝගිකව ආණ්ඩුව මෙතෙක් කල් ආපු ගමන් මගේ ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතන්නේ ආණ්ඩුවට ඡන්දය දීපු විශාල පිරිසකුත් කනගාටු වෙලා තිබෙනවා. ඒ අයත් සෑහීමකට පත්වෙලා නෑ. ඒ වගේම ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු කතා කරන විලාශය බැලු වර්ෂ ඔවුනුත් සෑහිමකට පත්වෙලා නෑ.”

We are happy to invite you.