Main news (Sinhala)

ගංවතුර අවධානම් නිකුත් වෙයි.. ජනතව අවදියෙන් සිටින්න.!

ගංවතුර අවධානම් නිකුත් වෙයි.. ජනතව අවදියෙන් සිටින්න.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවයි.

එම හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

තප්පර 42න් ඇල්ල ඔඩිසිය මිලට ගත් විශ්මකර්මයා අල්ලයි.!

තප්පර 42න් ඇල්ල ඔඩිසිය මිලට ගත් විශ්මකර්මයා අල්ලයි.!

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා ඇල්ල බලා ධාවනය වන ඇල්ල ඔඩිසි දුම්රියේ ප්‍රවේශ පත්‍ර සියල්ල තත්ත්පර 42 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දී අලෙවි වීම සම්බන්ධයෙන් වූ ජාවාරමක තතු හෙළි කළ අතර ඒ සම්බන්ධයෙන් පොලීසියටද විමර්ශණ ආරම්භ කරනා ලෙස දැනුම්දුන්නේය.

ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයෙන්, මෙම දුම්රිය ප්‍රවේශ පත් වංචාවට සම්බන්ධ එක් ප්‍රධාන සැකකරුවකු හදුනා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ.

අදාල සැකකරු මාකුඹුර දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු බව වාර්තා වේ.

ඔහුගේ ඥාතියෙකුගේ නමින් ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර තිබෙන මෙම දුම්රිය නිළධාරියා, ඒ මගින් ඔහු සියලු දුම්රිය ප්‍රවේශ පත්‍ර තාක්ෂණික ක්‍රමවේදයක් හරහා වෙන්කර ගැනීම සිදු කර ඇත.

පසුව එම දුම්රිය ප්‍රවේශ පත්‍ර ඔහුට සම්බන්ධ එම ආයතනය හරහා වැඩි මිලකට අලෙවි කිරීම ඔහුගේ ජාවාරම වන අතර එහිදී 1200 ප්‍රවේශ පත්‍රය රුපියල් 16000ක් වැනි අධික මිලකට විදේශිකයන්ට විකුණා ඇති බව දැනගන්නට තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මූලිකත්වයෙන් මෙම වංචාව හසුකර ගැනීම සදහා කටයුතු කරන ලද අතර මේ වන විට අදාල නිළධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ. 

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල නියත වශයෙන් ඉහළට.!

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල නියත වශයෙන් ඉහළට.!

ලංකා භාණ්ඩ හා ප්‍රවාහන සංගමය පවසන්නේ රේගුවේ හටගෙන ඇති බහාලුම් ප්‍රමාදය හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන බවත් එහි බර පාරිභෝගිකයන් පිට අනිවාර්යයෙන් ම පැටවෙන බවත් ය.

මෙම ප්‍රමාදය මත ආනයනික භාණ්ඩවල මිල තීරණය කිරීමේ ගැටලුවක් පවතින අතර ලොරි හිඟය හේතුවෙන් ලොරි ගාස්තු ඉහළ යෑමේ අවාසිය ද පාරිභෝගිකයා මත සෘජුව ම පැටවෙන බව ත් ඔහු සඳහන් කළේ ය.

මීට පෙර දිනකට ගෙවූ රුපියල් 15,000 – 20,000ත් අතර මුදල මේ වනවිට රුපියල් 40,000 – 50,000 දක්වා වැඩි කිරීමට රථකරුවන් කටයුතු කර ඇති බවත් එම සංගමයේ සභාපති ඉනාම් කෆූර් මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන් ම, මේ හේතුවෙන් ආනයනකරුවන්ට භාණ්ඩවල මිල තීරණය කිරීමේදී විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් කෙසේ හෝ භාණ්ඩ විකුණා ගත්තද පාරිභෝගිකයන්ට එහි පිරිවැය ගෙවීමට සිදුවන බව ත් කෆූර් මහතා පෙන්වා දුන්නේය.

“අපේ වැඩේට ආණ්ඩුව නම දාගන්න හදනවා” චානකගෙන් විලාපයක්.!

“අපේ වැඩේට ආණ්ඩුව නම දාගන්න හදනවා” චානකගෙන් විලාපයක්.!

හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීම සම්බන්ධයෙන් වූ අතීතය රටට අනාවරණය කිරීමට හිටපු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඩීවී චානක මහතා ඊයේ (17) කටයුතු මාධ්‍ය හමුවක් කැඳවා තිබුනි.

එහිදී චානක මහතා කියා සිටියේ ඊට අදාළ ඉඩම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙන් කළ බවත්, ඊට අදාළ කටයුතු කංචන විජේසේකර මහතා ඉදිරියට ගෙන ගිය බවත්ය.

හම්බන්තොට ආයෝජන කළාපයක් ඇතිකරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එම ආයෝජන කළාපය ඇතිකිරීමෙන් පසු මෙවැනි තෙල් පිරිපහදුවක් ඇතිකිරීම සඳහා හිටපු අමාත්‍ය කංචන මහතාගේ මූලිකත්වයෙන් ටෙන්ඩර් කැඳවීමෙන් පසු ඒ සඳහා සිනොපැක් සමාගම තෝරාගත් බවත් ඩීවී චානක මහතා පවසයි.

නමුත් එම පිරිපහදු ක්‍රියාවලියට අවශ්‍ය විදුලිය සහ ජලය සපයාව්ගැනීමේ ගැටළුකාරී තත්වයක් මතුවූ බවත් එම ගැටළු සඳහා පිළියම් යෙදුවේ තමා ඇතුළු කණ්ඩායම බවත් මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම සිනොපැක් සමාගමට මෙරට පෙට්‍රල් සෙඩ් 150ක් ලබාදීමත් මෙම ව්‍යාපෘතියේ මූලික පියවරක් ලෙස සිදුකළ බවත් මෙවර රජය මෙම ආයෝජනය සඳහා සිනොපැක් සමාගමත් සමඟ ගිවිසුමක් අත්සන් කළ බවට පැවසූවත් එම ගිවිසුම මින් පෙර අත්සන් කර තිබූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතා සේවය ජනතාව කැමති විදියට.. ආයතන 166ක් කණපිට ගහයි.!

ජනතා සේවය ජනතාව කැමති විදියට.. ආයතන 166ක් කණපිට ගහයි.!

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පවසන පරිදි, රජයේ වාණිජමය නොවන ආයතන 166 කට අයත් මහජන සේවා හා නියාමන කාර්යයන් ගුණාත්මක කිරීමට අදාළ ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පිහිටුවා ඇත.

මෙම කමිටුවේ මූලික ඉලක්කය වන්නේ මහජන සේවා හා නියාමන කටයුතු දියුණු කිරීම සඳහා මහජනතාවට ඉදිරියේදී පහසුකම් සහ ගුණාත්මක සේවාවන් සලසීමයි.

අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදුන් නවතම මාර්ගෝපදේශ අනුව, මෙම ආයතන 166 ක් සපයන සේවාවන් සම්බන්ධයෙන් මහජනතාව මුහුණ දෙන ගැටලු සහ අවශ්‍යතා විමසා එම ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට යෝජනා ලබා ගැනීමේ කටයුතු කමිටුව මගින් ක්‍රියාත්මක කරනු ඇත.

මෙම කටයුතු සඳහා අදහස් ලබාගැනීමේදී අදාළ ආයතනවල නම් ලැයිස්තුව https://pmoffice.gov.lk/soesuggestions.php වෙබ් පිටුවෙන් බාගත කළ හැකි අතර මහජනයාට තම අදහස් ඇතුළත් ආකෘති පත්‍රය පුරවා මෙම මස 31 වැනිදාට පෙර එම කමිටුවට ලබාදීමේථැකියාව පවතී.

චීන සංචාරය නිමකරමින් ජනපති අනුර දිවයිනට.!

චීන සංචාරය නිමකරමින් ජනපති අනුර දිවයිනට.!

මෙරටට වැදගත් වන ආයෝජන ව්‍යාපෘති රැසක් සමග චීන රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) දින රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද දින පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි අතර හමුවක්ද සිදුවිය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ආර්ථික සංවර්ධනයේ පෙරමුණේ සිටින චීනයේ සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සබඳතා මෙම හමුවීමත් සමග නව තලයකට පත්වනු ඇති බවයි.

ආර්ථික සංවර්ධනය අතින් පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ගියේය. 

ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාත් ලේකම්වරයාට ඇයුම් කර ඇත්තේ බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්‍රහණ ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙසයි.

මේ වනවිට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනය තුළ ආයෝජන සදහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් ජනාධිපතිවරයා ඔහුට පෙන්වා දී ඇත.

මෙරට ඉතිහාසයේ විශාලම කුඩු සල්ලි තොගය කුරුණෑගලින් හමුවෙයි.!

මෙරට ඉතිහාසයේ විශාලම කුඩු සල්ලි තොගය කුරුණෑගලින් හමුවෙයි.!

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් සිදු කරන ලද සෝදිසියකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබූ රුපියල් කෝටි 28ක් සොයාගැනීමට සමත්ව තිබේ.

එය මෙතෙක් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබූ වැඩිම මුදල බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිඳිමින් ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.

කෝටි 28ක් වූ එම මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකිනි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද එම සෝදිසියේදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය, කැබ් රථය සහ වෑන් රථය සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.

බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරු මෙම සිද්ධියට අදාළව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී ඇති බවද සඳහන් වේ.

අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි.!

අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි.!

ජනපතිවරයාගේ ඩිජිටල් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආරම්භ වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙම නව ඩිජිටල් වේදිකාව රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමග එක්ව අංශ පහක් යටතේ ඒකාබද්ධිත ක්‍රියාත්මක වෙයි.

එම නව ඒකාබද්ධ කිරීම හරහා වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයින් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය, වැන්දඹු සහ අනත්දරු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය, ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රියාවලිය, විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය (රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධිතය) යන අංශ පහ ක්‍රියාත්මක වේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලිව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම මෙම ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කිරීමේ අරමුණ වූ බව අමාත්‍යංශය පැවසීය.

පුංචි හීන වලට තටු දෙන්න “ජා” මහතාගෙන් අත හිත.!

පුංචි හීන වලට තටු දෙන්න “ජා” මහතාගෙන් අත හිත.!

මෙරට වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුවිය.

නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ හරහා මෙරට වතුකර ප්‍රජාවන්හී ඩිජිටල් පරතරය පියවීම එහි අරමුණයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයෙන් ත්‍යාගශීලී මුදල් ආධාරයක් ලෙස රුපියල් මිලියන 508ක් ලබා දී ඇති අතර මෙම ස්මාර්ට් පන්ති කාමර වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 115ක මුදලක්ද වෙන් කර තිබේ.

නිහඬ ත්‍රස්තවාදයක් මට්ටු කරමින් Clean Sri Lanka මුල් ඵල‍ය දරයි.!

නිහඬ ත්‍රස්තවාදයක් මට්ටු කරමින් Clean Sri Lanka මුල් ඵල‍ය දරයි.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම හරහා රථ වාහන අනතුරුවලින් දිනකට මියයන පුද්ගලයින් ගණන අඩුකර ගැනීමට හැකි වූ බවයි.

මාර්ග විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් බවත් මෙය නොපෙනෙන ත්‍රස්තවාදයක් බවත් වැඩබලන පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේය.

එම වැඩසටහනට පෙර රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 9කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බවත් එම ප්‍රමාණය 4 සිට 2ක දක්වා අඩු කරහැනීමට මේ වනවිට හැකියාව ලැබී ඇතැයි ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පොලිස් සංක්‍යා දත්ත අනුව දිනකට පුද්ගලයින් 10 – 15ත් අතර පිරිසක් රිය අනතුරු හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙන බවත්, යුද සමයේ දිනකට ආබාධිතවූ පිරිසට වඩා එය වැඩි ප්‍රමාණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට පසුගිය දෙසැම්බර් 25 වන නත්තල් දිනයේ දී කිසිදු රිය අනතුරක් වාර්තා නොවූ අතර එය සුවිශේෂි අවස්ථාවක් බවද වැඩබලන පොලිස්පතිවරයා සිහිපත් කළේය.

We are happy to invite you.