Why is this happening (Sinhala)

ට්‍රම්ප්ට එරෙහිව මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්.!

ට්‍රම්ප්ට එරෙහිව මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්.!

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඉවත්වීමට ඒලොන් මස්ක් කටයුතු කිරීමත් සමග එරට රජයේ අරමුදල් බිලියන ගණනකට පාඩු සිදු විය හැකි බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, එරට අයවැයෙන් ඩොලර් බිලියන ගණනින් මුදල් ඉතිරි කර ගැනීමට ඇති පහසුම ක්‍රමය මස්ක්ට ලබා දෙන රජයේ සහනාධාර සහ කොන්ත්‍රාත්තු අවසන් කිරීම බවයි.

එසේම හිටපු ජනපති ජෝ බයිඩන් එසේ නොකිරීම පිළිබඳව තමන් පුදුම වන බවත් ඔහු සඳහන් කර තිබේ.

මස්ක්ගේ විදුලි වාහන කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් තීරණය කිරීමත් සමගයි මෙම ගැටුම් තීව්‍ර වී ඇත.

මේ අතර X සටහනක් තබමින් මස්ක් පවසා ඇත්තේ තම සහාය නොමැතිවූයේනම් 2024 ජනාධිපතිවරණයෙන් ජනපති ට්‍රම්ප් පරාජය වන බවයි.

එමෙන්ම ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිය නියත වශයෙන්ම අමරිකාව ආර්ථික අර්බුදයකට ඇද දමනු ඇති බවද ඔහුගේ සටහනේ වැඩිදුරටත් සඳහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ අමෙරිකාවට නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කාලය පැමිණ ඇති බවටද ඔහු යෝජනා කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විමසා මස්ක් ඔහුගේ මිලියන 220කට අධික සමාජ මාධ්‍ය ජාලා අනුගාමිකයින්ගෙන් මත විමසුමක් කර ඇති අතර, එම මත විමසුම අවසන් වීමට පැය 23ක් තිබියදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 83කට වඩා සඳහන් කර ඇත්තේ ඒ සඳහා කාලය එළඹ ඇති බවයි.

ගෝඨාගේ නඩුවකට භාතිය සන්තුෂ් පැටලෙයි.!

ගෝඨාගේ නඩුවකට භාතිය සන්තුෂ් පැටලෙයි.!

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද ‘වේරන්ස් ගඟ ව්‍යාපෘතිය’ සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ හා භාතිය සන්තුෂ් යන දෙදෙනා ද සැකකරුවන් කළ යුතු බව එම සිද්ධියේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් ජයවර්ධන අද (ජූනි 5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දන්වා තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් දෙවන සැකකාරිය ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරියක් වන එම්.ඒ.ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධිර නමැති සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඒ බව දැන්වීය.

එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වන තම සේවාදායිකාව නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව එම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 276 ක් මුදා හැරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

ඉහළ බලධාරීන්ගෙන් ඇතිවන පීඩා නිසා එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරියන් දෙදෙනෙකු එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව තම සේවාදායිකාව ඒ සඳහා පත්කර ඇති බව ද නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘතිය 2014 සැප්තැම්බර් 9 වන දා විවෘත කිරීමට නියමිතව තිබී ඇති බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකයන්ට දැනුම් දී ඇත්තේ සැප්තැම්බර් 5 වන බව ද ඔහු පැවසීය.

දින හතරක් වන කෙටි කාලයක් තුළ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමට සිදුව ඇති බවත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ එම සංස්ථාවේ සභාපතිවරයා බවත් ඔහු සඳහන් කළේ ය.

එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හිටපු ගෝඨාභය රාජපක්ෂ එම ව්‍යාපෘතිය නැරඹීම සඳහා පෙරහුරු පවා පවත්වා ඇති බවත් එවන් තත්ත්වයක් තුළ තම සේවාදායිකාව කටයුතු කර ඇත්තේ දැඩි පීඩනයෙන් බවත් ඔහු සඳහන් කළේය.

එම විවෘත කිරීමේ උත්සවයේ සියලු ම කළමනාකරණය කිරීමේ කටයුතු භාතිය ජයකොඩි නමැති අයෙකුට අයත් “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නමැති ආයතනයකට භාර දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයට හා භාතිය සන්තුෂ් යන දෙපළ මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කළ යුතුව ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

තම සේවාදායිකාව අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කර ඇති නමුත් ඇය ක්‍රියාකර ඇත්තේ ඇයට ඇතිවූ පීඩනය හා ඇයට හැකි පමණින් බවද ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මෙම සිද්ධියේ පළමු සැකකරු වන බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ වන විට ඇප මත මුදාහරණ හැර සිටින බවද අල්ලස් සෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ පැවසුවාය.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සිටින දෙවන සැකකාරිය එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයක් වශයෙන් කටයුතු කර ඇති බවත් ඇය එම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කරමින් නිසි ක්‍රමවේදයන්වලින් බැහැරව මුදල් වෙන්කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ඇය සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසට ද අධ්‍යක්ෂකවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

දෙපාර්ශවයේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නියෝග කළා ය.

සිද්ධියට අදාළ නඩුව ජූනි 24 වන දා නැවත කැඳවීමට නියමිතය.

Mawbima

පාසලේ බඩු තිබ්බොත් විදුහල්පතිට නඩු.!

පාසලේ බඩු තිබ්බොත් විදුහල්පතිට නඩු.!

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ පාසල් පරිශ්‍රවලින් ඩෙංගු හා විකුන්ගුන්යා රෝග වාහක මදුරුවන් හඳුනාගතහොත් එම පාසල්වල විදුහල්පතිවරුන් පෞද්ගලිකව වගකීමට බැඳෙන බවයි.

ඒ අනුව විදුහල්පතිවරුන්ට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට ද මුහුණදීමට සිදුවනු ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. 

අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ දිවයින පුරා වැසි සමය ආරම්භවීමත් සමඟ ඩෙංගු සහ විකුන්ගුන්යා රෝග පැතිරයාමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, පාසල් පරිශ්‍රවල මෙම රෝග නිවාරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් නිකුත් කරන ලද උපදෙස් පත්‍රිකාවට අනුව, සියලු පාසල් පරිශ්‍ර මදුරුවන් බෝ නොවන ලෙස ආරක්ෂිතව පවත්වාගැනීමට පියවර ගත යුතු අතර, පාසල් අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

මෙම උපදෙස් අනුව, අවදානම් සහිත ස්ථාන පවිත්‍ර කිරීම සඳහා පළාත් පාලන ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වැනි අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහාය ලබාගැනීම ද වැදගත් වන අතර, පාසල් පරිශ්‍රයට ප්ලාස්ටික්, පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වැළකීමට සිසුන් හා කාර්ය මණ්ඩලය දැනුවත් කළ යුතු බව සඳහන් කර ඇත.

තවද, පාසල් කාලය තුළ සිසුන් මදුරු දෂ්ටනයට ලක්වීම අවම කිරීම සඳහා මදුරු විකර්ශක ආලේපය කිරීමට හා අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුම් ඇඳීමට දරුවන් දැනුවත් කිරීමට ද උපදෙස් දී ඇත.

අමාත්‍යාංශය විසින් පාසල තුළ එක්රැස් වන ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කර නිසි පරිදි බැහැර කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට ද උපදෙස් දෙන අතර, වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය මගින් හඳුනාගත් කැඩී බිඳී ගිය ද්‍රව්‍ය හැකි ඉක්මනින් ඉවත් කරන ලෙස ද නිවේදනයේ සඳහන් වේ.

2025 මැයි 31 වන දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5 සිට 19 අතර පාසල් වයසේ දරුවන් බව සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගැනීම සඳහා මීට පෙර නිකුත් කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපි අනුගමනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද උපදෙස් දී තිබේ.

මෙම නිවේදනය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පිරිවෙන් පරිවේණාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන්, අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් ඇතුළු සියලු අදාළ අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

ඉහළ පොලිස් නිළධාරියෙකු වෙඩි තබාගෙන ජීවිතක්ෂයට.!

ඉහළ පොලිස් නිළධාරියෙකු වෙඩි තබාගෙන ජීවිතක්ෂයට.!

උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහියංගනය පොලීසියට අනියුක්තව සේවය කළ නිළධාරියෙකි.

අදාළ පොලිස් නිලධාරියා 57 හැවිරිදි හසලක වේරගංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙදරු පියෙකු වන අදාළ නිලධාරියා පෞද්ගලික හේතුවක් නිසා පසුගිය දිනවල සිත්තැවුලෙන් කාලය ගත කර ඇති බවද වාර්තා වෙයි.

මණ්ඩලේ ලොක්කෝ ආණ්ඩුව අන්දලා.. රජයට කෝටි දෙදාහක් පාඩුවක්.?

මණ්ඩලේ ලොක්කෝ ආණ්ඩුව අන්දලා.. රජයට කෝටි දෙදාහක් පාඩුවක්.?

රජයට රුපියල් කෝටි 2000ක පමණ පාඩුවක් සිදු කරමින් මෙගාවොඩ් 10 බැගින් වන සුළං විදුලි බලාගාර හයක් සඳහා පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

සුළං බලාගාරයක නිෂ්පාදනය කරන විදුලිය ඒකකයක් ලංකා විදුලිබල මණ්ඩලය මිලදීගත යුත්තේ රුපියල් 23ක මිලකට බවට, විදුලිබල අමාත්‍යෘංශයේ කමිටුව මගින් නිර්දේශ කර තිබියදී ඒකකයකට රුපියල්  29.80ක් ගෙවීමේ පදනම මත කඩිමුඩියේ මෙම ගිවිසුම් අත්සන් කිරීමේ සූදානමක් පවතින බවද එම ආරංචිමාර්ග පවසයි.

විදුලිබල අමාත්‍යාංශයේ කමිටුව මගින් 2024 වසරේදී ආයෝජනය කරන සුළං බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදීගත යුතු මුදල රුපියල් 29.80ක් ලෙස තීරණය කර ඇති අතර 2025 වසර සඳහා එම කමිටුව තීරණය කර ඇත්තේ ඒකකයක් රුපියල් 23කට මිලදී ගත යුතු බවටය.

සුළං බලාගාරවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට රුපියල් 23ක මුදලක් ගෙවිය යුතු බවට වන අමාත්‍යාංශයේ කමිටුව නිර්දේශ කර ඇති නිර්දේශය ඉකුත් මාර්තු මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදරිපත් කර ඇතත්, මුදල් අමාත්‍යාංශයේ කිහිපදෙනෙකු ඊට කකුලෙන් ඇදීම හේතුවෙන් මේ දක්වා එය අනුමත වී නොමැති බවද පැවසේ.

පැරණි මිලටම නව ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාව හේතුවන් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ඉදිරිපත් නොකෙරෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙගාවොට් 10ක සළං බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවන අතර ඒ සඳහා විදුලි ඒකකයට ගෙවිය යුතු මුදල කමිටුවක් මගින් නිර්දේශ කිරීම ක්‍රමවේදය වේ.

මේ අතර මෙගාවොට් 10 බැගින් වන සුළං බලාගාර හයක් අලුතින් ස්ථාපිත කිරීමට සමාගම් 6ක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව ඇතත්, එහි සැබෑ අයිතිකරුවන් ප්‍රමාණය දෙදෙනෙකු හෝ තිදෙනෙකු වන වද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හෙරොයින් සමඟ මාට්ටු වූ ක්‍රිකට් තරුව පිටුපස මහා කුඩු ජාවාරමක්.!

හෙරොයින් සමඟ මාට්ටු වූ ක්‍රිකට් තරුව පිටුපස මහා කුඩු ජාවාරමක්.!

හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංක ජූනි 1 වැනිදා දක්වා රදවා ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අවසර දුන්නේය.

හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 350ක් සමගින් සැකකරු පෙරේදා (25) අත්අඩංගුවට පත්වූ අතර පන්නල පොලිසිය විසින් බී වාර්තාවක් මගින් ඊයේ (26) අධිකරණයට ඉදිරිපත් කළේය.

පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී ද මොහු මෝටර් රථයෙන් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බවයි.

නිවෙසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවෙසට ගොස් පරීක්‍ෂා කිරීමේදී ඔහුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී හෙරොයින් තොගය සොයාගත් බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

පොලිසිය මෙහිදී කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු බැවින් රඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවය.

දිවි නසා ගත් පීඨ සිසුවිය මානසික ආතතියෙන් පීඩා විඳලා.!

දිවි නසා ගත් පීඨ සිසුවිය මානසික ආතතියෙන් පීඩා විඳලා.!

පසුගිය 23 වනදා වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සිය දිවි හානි කරගත් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 23ක් වූ බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබූ අතර ඇය සමඟ නේවාසිකාගාරයේ රැඳී සිටි මිතුරිය විසින් මෙම සිසුවිය ගෙල වැළලාගෙන සිටිනු අයුරු දැක තිබුණි.

අනතුරුව ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සහ බිංගිරිය පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබු අතර සිසුවියගේ පවුලේ ඥාතීන් පවසන්නේ මානසික ආතතිය හේතුවෙන් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බවයි.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව සිසුවිය සියදිවි හානිකර ගැනීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

බූරු මූනා සහ STF නිළධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ.!

බූරු මූනා සහ STF නිළධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ.!

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා සහ පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් අතර ගැටුමක් හට ගෙන තිබේ.

ඒ ඔහු අද (23) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සදහා වීඩියෝ තාක්ෂණය හරහා ඉදිරිපත් කිරීමට සිර මැදිරියෙන් පිටතට රැගෙන ආ අවස්ථාවේදීයි.

ඔහුව පරික්ෂා කිරීමට යාමේදී මෙය සිදුව ඇති අතර, එහිදී රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා සහ පොලිස් විශේෂ කාර්යා බලකා නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

ට්‍රම්ප් පාලනය ලෝකයටම අධ්‍යාපනයේ දොරගුළු වසයි.!

ට්‍රම්ප් පාලනය ලෝකයටම අධ්‍යාපනයේ දොරගුළු වසයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් සිය රටෙන් යායුතු බවට දැනුම් දී ඇති බවද එම වාර්තාවන්හි දැක්වේ.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 20,000කට වැඩි සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන අතර, ඉන් රටවල් 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය වන පරිදි විදෙස් සිසුන් 6,800කට ආසන්න සංඛ්‍යාවක් සිටියි.

මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවයි.

එමෙන්ම ත්‍රස්ත හිතවාදී උද්ඝෝෂකයින් සිටින බවත්, ඔවුන් යුදෙව් සිසුන්ට පහරදීමට කටයුතු කිරීමෙන් විශ්වවිද්‍යාලය තුළ අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

විනිසුරුවරියක ලිංගික හිංසනයට ලක් කළ නීතීඥවරයෙකු අත්අඩංගුවට.!

විනිසුරුවරියක ලිංගික හිංසනයට ලක් කළ නීතීඥවරයෙකු අත්අඩංගුවට.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතීඥවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නීතීඥවරයා විසින් විසින් මැසෙන්ජර් ගිනුමක් ඔස්සේ මහාධිකරණ විනිසුරුවරියක ලිංගික හිංසනයට ලක් වන සේ කෙටි පණිවුඩ යැවූ බව කියන චෝදනාවකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

2022 වසරේ දී අදාළ නීතීඥවරයා විසින් තමා ලිංගික හිංසනයට ලක් වන සේ මැසෙන්ජර් ඔස්සේ කෙටි පණිවුඩ යොමුකළ බවට අදාළ මහාධිකරණ විනිසුරුවරිය විසින් පැමිණිලි කර තිබුණි.

ඒ අනුව පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

එහිදි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ සැකකරු සිදුකර ඇති ක්‍රියාව ලිංගික අතවර කිරීමේ චෝදනා යටතට ගැනෙන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ලෙසය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.