Why is this happening (Sinhala)

කෝටි 330ක් වැඩිපුර ගෙවා ලොකුම ලංසුවට ටෙන්ඩරය දීලා.. විදුලිබල ඇමැතිටත් නොතීසි නිකුත්වෙයි.!

කෝටි 330ක් වැඩිපුර ගෙවා ලොකුම ලංසුවට ටෙන්ඩරය දීලා.. විදුලිබල ඇමැතිටත් නොතීසි නිකුත්වෙයි.!

එස්. තුරෙයිරාජා හා සම්පත් බී. අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ව්සින් විදුලිබල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ඊයේ (20) දින නියෝග කළේය.

ඒ සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී අඩුම ලන්සුව ඉදිරිපත් කළ ටෙන්ඩර්කරු නොසලකා වැඩිම ලංසුව ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට අදාළ ටෙන්ඩරය ලබාදීම නිසා රජයට රුපියල් බිලියන තුනකට අධික අලාභයක් සිදුවන බවට අධිකරණය හමුවේ ගොනුවී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසයි.

එහිදී පෙත්සම්කාර මිලින්ද ප්‍රසන්න මඩුගල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේ එකී ටෙන්ඩරය මගින් සිදුවන අති විශාල පාඩුව මෙන්ම අනෙකුත් කරුණු අනුව විශාල මහජන උනන්දුවක් ඇති බවත්, හදිසි කටයුත්තක් සේ සලකා කඩිනමින් එහි සඳහන් කරුණු තහවුරු කිරීමට දින ලබාදෙන ලෙසයි.

පෙත්සමේ සියලු වගඋත්තරකරුවන්ට නොතීසි සහ පෙත්සමට අදාළ ලේඛන යැවීමට පියවර ගත් බවද නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් දැනුම් දුන්නේය. කෙසේ නමුත් එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දසවැනි වගඋත්තරකරු ලෙස නම්කොට තිබූ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර සෙසු විත්තිකරුවන් නමදෙනා හෝ ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් නොතිබිණි.

ඒ අනුව ඇමැති කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලය, රිවිදනවි ප්‍රයිවට් ලිමිටඩ්, ලක්දනවි ලිමිටඩ්, වින්ස්පෝර්ස් ලිමිටඩ්, බ්ලු සර්කල් පුද්ගලික සමාගම, ඇතිමලේ ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම, මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල (ලේකම් විදුලිබල අමාත්‍යාංශය) හා ඩබ්ලිව්. එම්. ඩී. එල්. ප්‍රනාන්දු (කැබිනට් මණ්ඩල ලේකම්) යන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණි.

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ මෙගාවොට් සියයක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබූ බව මෙන්ම එම ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වූ මිල ගණන් අනුව කිලෝවොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් 12.2 ක ටෙන්ඩරය ඉදිරිපත් කළ පෙරකී වගඋත්තරකාර සමාගමට එකී ටෙන්ඩරය ලබාදී තිබූ බව 2025.01.21 වැනිදා මාධ්‍ය මගින් තමා දැනගත් බවත්, පෙත්සම්කරු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබිණි.

ඇමරිකානු ඩොලර් ශත 8කට කිලෝවොට් පැයක විදුලිය සැපයීමට ඉදිරිපත් වූ සමාගම නොසලකා හැරීමෙන් එම අක්‍රමිකතාව ආරම්භ වී තිබූ බවත් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු ටෙන්ඩරය ලබාගත් වගඋත්තරකාර සමාගම ඇමරිකානු ඩොලර් ශත 8ක මුදලකට විදුලිය ලබාදීමට එකඟ වී ඇති බවද අධිකරණයට පෙන්වාදී තිබිණි.

කෙසේ නමුත් පෙරකී මුදලට අමතරව සම්ප්‍රේක්‍ෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් වසර දහයක් දක්වා කාලයකට අවශ්‍ය ප්‍රතිපාදන ගෙවීමට රජය එකඟ වී ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්කරු පෙන්වා දී තිබිණි.

ටෙන්ඩරයේ සැපයුම් ගාස්තු ඇමරිකානු ඩොලර් ශත 8 දක්වා අඩු කළත්, සම්ප්‍රේෂණ පහසුකම් ගාස්තු ටෙන්ඩරය ලබා ගැනීමේදී අති විශාල ලෙස ඉහළ දැමීම නිසා රජයට රුපියල් බිලියන 3.3ක අලාභයක් සිදුවන බවත් වගඋත්තරකරුවන්ගේ එකී අනිසි ක්‍රියාව නිසා රජයට සිදුවන හානියේ අලාභය වක්‍රව ගෙවීමට සිදුවනුයේ රටේ පොදු ජනතාවට බවත් පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වාදී තිබිණ.

එබැවින් තමන්ගේ මූලික අයිතිවාසිකම් එමගින් උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරනා ලෙසටද පෙත්සම්රු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

වැගන් ආර් මිලට ත්‍රී වීල් ගොඩ බහී.!

වැගන් ආර් මිලට ත්‍රී වීල් ගොඩ බහී.!

මෙරට ප්‍රධානතම ත්‍රිරෝද රථ අලෙවි සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් බජාජ් ත‍්‍රිරෝද රථ ආනයනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ අනුව එම සමාගම පෙර ඇනවුම් භාර ගැනීම සඳහා පූර්ව ප‍්‍රචාරක දැන්වීම් පල කර ඇති අතර නව මිල ගණන්ද නිල වශයෙන් එළි දක්වා ඇත.

රජය විසින් පනවා ඇති නවතම බදු ඇතුළත්වීමෙන් පසුව අලුත්ම ත්‍රීරෝද රථයක මිල මිලියන 2කට ආසන්න වෙයි.

ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් පරිදි භාණ්ඩ හා සේවා බද්ධ රහිතව ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,690,678ක් ලෙස දැක්වේ.

භාණ්ඩ හා සේවා බද්ද එක්වූ විට ත‍්‍රිරෝද රථයක් රුපියල් 1,995,022ක් වෙයි.

වටගලගේ බූරු ප්‍රකාශයට නලින්ද සමාව ගනී.!

වටගලගේ බූරු ප්‍රකාශයට නලින්ද සමාව ගනී.!

ගණේමුල්ල සංජීව ඝාතන සිදුවීමෙන් පසු අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි නියෝජ්‍ය ඇමැතිවරයා ඉන් පිටත්ව යාමේදී තම රියැදුරුට කළ බව කියන ආමන්ත්‍රණය සුදුසුදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසීය.

ඊට පිළිතුරු ලබාදෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල තම රියැදුරුට ‘බූරුවා’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි.

“කලබලකාරී ආතතිකාරී තත්ත්වයකදී පවා ඔහුගේ මුවින් පිට වූ වචන ගැන මම කණගාටුව පළ කරනවා” යැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනයේ සාටක ලකුණු මතුවෙයි.!

මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනයේ සාටක ලකුණු මතුවෙයි.!

පෙරේදා (18) රාත්‍රීයේ එල්ල වූ වෙඩි ප්‍රහා­ර­ය­කින් අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා’ නමැත්තා, ඔහුගේ 6 හැවි­රිදි දිය­ණිය සහ ඔහුගේ 9 හැවි­රිදි පුතා මිද්දෙ­ණිය ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.

මෙසේ ඝාතණයට ලක්වූ පුද්ගලයා අර­ග­ලය පැවති සමයේ දී රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබී­ම්ව­ලින් ආරක්ෂා කර ගැනී­මට පෙර­මුණ ගෙන කට­යුතු කළ රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ සමී­ප­ත­ම­යකු සහ රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ ආර­ක්ෂ­ක­යකු ලෙස මිද්දෙ­ණිය හා තංගල්ල ප්‍රදේශය හොල්ලා­ගෙන සිටි අයෙකු බව පැවසෙයි.

කෙසේවෙතත් මෑතක සිට රාජ­ප­ක්ෂ­ව­රුන් සමඟ අම­නා­ප­යෙන් සිට ඇති බව ඔහු යූටි­යුබ් නාළි­කා­වක පැවති සම්මුඛ සාක­ච්ඡා­වේදී ද හෙළි­කර තිබූ අතර තමාව ඝාත­නය කිරී­මට සූදා­න­මක් ඇති බවත් අඟු­ණු­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින පුද්ග­ල­ය­කුට කොන්ත්‍රා­ත්තුව දී ඇති බවත් ඔහු එහිදී පවසා ඇත.

අර­ග­ල­යෙන් පසු දේශ­පා­ල­නික වශ­යෙන් වෙනත් කණ්ඩා­ය­ම­කට සම්බන්ධ වී ඇති ඔහු යම් දේශ­පා­ලන පක්ෂ­යක කොළඹ පිහිටි කාර්යා­ල­ය­කත් සැඟවී සිට ඇති බවට තොර­තුරු ද පසු­ගිය කාලයේ කියැ­විණි.

මෙම පුද්ග­ලයා සතුව ගිනි අවි ඇති බවට පවා පොලී­සි­යට තොර­තුරු ලැබී තිබුණි. විවිධ අප­රාධ සම්බ­න්ධ­යෙන් පසු­ගිය කාලයේ මොහුව තංගල්ල හා මාතර දිසා නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස සේවයේ නිර­තව සිටි මහේෂ් සේනා­රත්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අත්අ­ඩං­ගු­වට ද ගෙන තිබුණි.

මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු ලෙස ඌව පළාත් භාර පොලිස් ප්‍රධා­නියා ලෙස සේවයේ නිර­තව සිටින්නේ මහේෂ් සේනා­රත්න මහ­තාය. ‘කජ්ජා‘ අත්අ­ඩං­ගු­වට ගැනීම හේතු­වෙන් මහේෂ් සේනා­රත්න මහතා සමඟ අදාළ දේශ­පා­ලන බල­අ­ධි­කා­රිය යම් අස­තු­ට­කට පත්ව සිට ඇති බව ද සඳ­හන්ය.

පොලිස්  අත්අ­ඩං­ගු­වට ගත් ‘කජ්ජා‘ව  නිද­හස් කිරී­මට එකී දේශ­පා­ලන අධි­කා­රිය අපො­හො­සත් වීම හේතු­වෙන් ‘කජ්ජා‘ එම දේශ­පා­ලන අධි­කා­රිය සමඟ හිත් අම­නා­ප­යක් ඇති කර­ගෙන සිට ඇති බවත් තතු දත් තොර­තුරු සඳ­හන් කළේය.  යූටි­යුබ් නාළි­කාව සමඟ ඔහු සාක­ච්ඡා­වක් පවා පව­ත්වන්නේ එම සිදු­වීම් ද මුල්ක­ර­ගෙ­නය.

‘කජ්ජා‘ තිදරු පියෙකි. බිරිය විදේ­ශ­ග­තව සිටින අතර මිද්දෙ­ණියේ ගල්පොත්ත යායේ සිය දරු­වන් සමඟ ඔහු පදිං­චිව සිට ඇත.

තම දරු තිදෙනා සමඟ රාත්‍රි ආහා­රය සඳහා කොත්තු­වක් මිල දී ගැනී­මට නි‍ෙවස අසල හෝට­ල­ය­කට පෙරේදා (18) රාත්‍රියේ ගොස් වැඩි­ම­හල් දරුවා කොත්තුව දමන තුරු හෝට­ලය අසල නවත්වා යෝගට් 5කුත් රැගෙන කුඩා දරු දෙදෙනා නි‍ෙව­සට ඇර­ල­වී­මට යතු­රු­පැ­දි­යෙන් ගමන් කර­මින් සිටිය දී ඔහුව ඉලක් කර­ගෙන වෙඩි තැබීම සිදුව ඇති බව පොලී­සිය කියයි.

යතු­රු­පැ­දි­ය­කින් පැමිණ ටී 56 අවි­ය­කින් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ. වෙඩි පහ­ර­වල් රැසක් 39 හැවි­රිදි කජ්ජාට වැදී ඇති අතර ඔහු එම ස්ථාන­යේම මිය­ගොස් ඇත.

වෙඩි ප්‍රහා­ර­යෙන් බර­ප­තළ තුවාල ලැබූ 6 හැවි­රිදි දිය­ණිය වීර­කැ­ටිය රෝහ­ලට ඇතු­ළත් කර වැඩි­දුර ප්‍රති­කාර සඳහා තංගල්ල මූලික රෝහ­ලට මාරු­කර යැවී­මෙන් පසු ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇත.

වෙඩි තැබී­මෙන් බර­ප­තළ තුවාල ලැබූ 9 හැවි­රිදි විදා­න­ග­මගේ කලිඳු අමේෂ් නමැති පිරිමි දරුවාද ඇඹි­ලි­පි­ටිය මහ රෝහ­ලට ඇතු­ළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුද අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

ඝාත­නය වූ පුද්ග­ල­යාට එරෙ­හිව ටී 56 ගිනි අවි­යක් බල­පත්‍ර නොමැ­තිව ළඟ තබා ගැනීම ඇතුළු අන­ව­සර ගිනි අවි ළඟ තබා ගැනීමේ නඩු කිහි­ප­යක් සහ සූදු­පිටි කොල්ල­කෑමේ නඩු කිහි­ප­යක් අධි­ක­ර­ණ­වල විභා­ග­යට ගැනෙන බව පොලී­සිය සඳ­හන් කරයි.

මාතර සහ හම්බ­න්තොට දිසා භාර නියෝජ්‍ය පොලි­ස්පති නිශාන්ත සොයිසා, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි උපුල සෙනෙ­වි­රත්න මහ­ත්ව­රුන්ගේ උදෙස් පරිදි මිද්දෙ­ණිය පොලිස් ස්ථානා­ධි­පති රොහාන් සම­ර­සේ­කර මහතා ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ පව­ත්වති.

සය මස් ගැබිනියක් වූ සහකාර ප්‍රා.ලේ ගිනි තබාගෙන මරුට.. දරු කළලය බේරාගන්නත් නොහැකි වෙයි.!

සය මස් ගැබිනියක් වූ සහකාර ප්‍රා.ලේ ගිනි තබාගෙන මරුට.. දරු කළලය බේරාගන්නත් නොහැකි වෙයි.!

හය මස් හයක ගැබිනි මවක් වූ තමිලිනී සතීස් නැමති 36 හැවිරිදි යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වශයෙන් කටයුතු කළ කාන්තාවක් බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු පෙරේදා (16) මිය ගොස් ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.

චාවකච්චේරි නිර්වෙලි ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඇය මුහුණ දී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ දරු කළලය බේරා ගැනීමට රෝහල් වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් දැරුවද, මව හා දරු කළලය යන දෙදෙනාගේම ජීවිත බේරා ගැනීමට නොහැකි වූ බව රෝහල් වෛද්‍යවරු පවසති.

පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මව සහ දරු කළලය මිය ගොස් ඇත්තේ අධික ලෙස ගිනි රශ්මියට නිරාවරණය වීමෙන් ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයක් හා දැඩි කම්පනයක් හේතුවෙන් බවයි.

යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමශිවායම් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා විසින් පොලීසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ බිරිඳ කාමරයක් තුළ ඉටිපන්දමක් හෝ වෙනත් දෙයක් දැල්වීමට ගත් උත්සාහයකදී ඇගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම මරණය සියදිවි හානිකර ගැනීමක්ද, අනතුරක්ද, නැතහොත් ඝාතනයක්ද යන්න තහවුරු කිරීම සඳහා සැමියාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

ඉදිරිපත් වූ සාක්ෂි මත පදනම්ව යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්. ජෙයබාලන් මහතා විසින් මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස නිගමනය කර ඇත. මෙම තීරණයට එළඹීමට පවුලේ ඇති වූ යම් ආරවුල් තත්ත්වයක් හේතු වී ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා යාපනයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරියෙකු වශයෙන් සේවය කරන අතර, ඔවුන්ට අවුරුදු හයක දියණියක්ද සිටී. අවුරුදු 36ක් වයසැති මෙම නිලධාරිනිය යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචිව සිටි අතර, සිය රාජකාරි කටයුතු දැඩි කැපවීමකින් ඉටු කළ නිලධාරිනියක වශයෙන් ප්‍රදේශවාසී ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නියෝගය පරිදි, ඉදිරියේදී මෘත දේහය යළි ගොඩගැනීමේ අවශ්‍යතාවයක් මතුවුවහොත් ඒ සඳහා පහසුවන පරිදි වෙනම ස්ථානයක මිහිදන් කිරීමට කටයුතු කරන ලෙස ඥාතීන්ට දැනුම් දී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ චාවකච්චේරි පොලීසිය විසින් සිදු කරනු ලබන අතර, විශේෂයෙන් මිය ගිය නිලධාරිනියගේ සැමියාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

කෙහෙළිය වෙන නමකින් අස්වැසුමත් අරගෙන.?

කෙහෙළිය වෙන නමකින් අස්වැසුමත් අරගෙන.?


අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත විවාධය අතරතුර වත්මන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ ඉතිහාසයේ කිසිම දිනක නොමැති තරමින් අද දින පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු මාධ්‍ය වෙත පිළිතුරු දීමට නොහැකිව අසරන වී සිටි බවයි.

ලෝකයේ කිසිම පාර්ලිමේන්තුවක විපක්ෂ මන්ත්‍රීවරුන්ට එසේ නොවේවායි තමා ප්‍රාර්ථනා කරනා බවද ජයතිස්ස මහතා සිනහවෙමින් පැවසීය.

අමාත්‍යවරයා පැවසූවේ සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණ වැනි ඒවා කල් දමගැනීමට කටයුතු කරන්නේ ආණ්ඩු වන නමුත් මේ වතාවේ ඒ වෙනුවෙන් විපක්ෂය දැඩි සටනක නිරතවන බවයි.

එසේම සජබ මහලේකම්වරයා ඇතුළු පිරිස මැතිවරණය සඳහා ඇප මුදල් බැඳීමට මුදල් නොමැති බව පැවසුවද විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ව්‍යාපාරිකයින් බවත් ඔවුන්ට යහමින් මුදල් ඇතිබවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ඇප තැම්පත්කිරීම සඳහා කෝටි පහක් නැතිනම් කෝටි නවයයි ලක්ෂ 80ක් වන්දි ලබාගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා ගත හැකි බවයි.

“එක්කෙනෙක් වන්දි අරන් තියනවා නවකෝටි අසූ ලක්ෂයක්.. කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඉල්ලගන්නකෝ.. කෙහෙළිය රජයේ මුදල්වලින් අරන් නැත්තේ අස්වැසුම විතරයි.. ඒකත් වෙන කෙනෙක්ගේ නමක් දාල ගත්තද දන්නේ නෑ.. ඒ ඇර ඔක්කොම අරගෙන තියෙනවා.. ඒක නිසා සල්ලි නෑ කියලා විහිළු කරන්න එපා.. ඒව හේතු නෙවේ..”

ඩෑන්ගේ අම්මට.. ඇප.!

ඩෑන්ගේ අම්මට.. ඇප.!

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද්ගේ මව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය.

ඒ ඩෑන් ප්‍රියසාද්ගේ ලොකු අම්මා සමග ආරවුලක් ඇතිකරගෙන සාමය කඩවන අයුරින් කටයුතු කළේ යැයි කියන යන චෝදනාව මත වරෙන්තු ලබා සිටි සැකකාර මව වැල්ලම්පිටිය පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ වැල්ලම්පිටිය පොලිසිය පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වගන්තියේ ප්‍රකාරව සාමය කඩවන අයුරුන් කටයුතු කිරීමට එරෙහිව සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ බවය.

ඩෑන්ගේ ලොකු අම්මා කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද සැකකරු වරෙන්තු ලබා සිට සිටි බවද පැවසේ.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින්න ලෙසට නියෝග කළේය.

මේ වනවිට ඩෑන් ප්‍රියසාද් ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් පසුගිය උදෑසන (11) අත්අඩංගුවට ගෙන වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අර්චුනාගේ පිඟානෙන් කෑ පුද්ගලයා සැත්කමකට ලක් කරයි.!

අර්චුනාගේ පිඟානෙන් කෑ පුද්ගලයා සැත්කමකට ලක් කරයි.!

යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා සිසින් පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇති බවයි.

ඊයේ (11) රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මන්ත්‍රීවරයා ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමක් සිදුකරනු ලබන අතර එයට විරෝධය පෑ පුද්ගලයින් දෙදෙනෙකු අතර මෙම බහින්බස් වීම සිදුව තිබූ අතර එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පිඟානකින් එක් අයෙකුට පහර දී ඇති බව පැවසේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව සිටී.

පහරදීම සම්බන්ධයෙන් අර්ච්චුනා රාමනාදන් මහතා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ සටහනක්ද පළ කර තිබේ.


යාපනය හෝටලයකදී අර්චුනා ශිල්ප දක්වලා.!

යාපනය හෝටලයකදී අර්චුනා ශිල්ප දක්වලා.!

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා දැනට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මන්ත්‍රීවරයා ද යාපනය පොලිස් ස්ථානයට ගොස් තමාට පහර දුන් බවට පැමිණිල්ලක් ගොනු කර ඇත.

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී මන්ත්‍රීවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇත.

එම හෝටලයේදී ආහාර ගනිමින් සිටියදී මන්ත්‍රීවරයා සහ පිටස්තර පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් පසු මන්ත්‍රීවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

වැඩිදුර විස්තර අනුව, මන්ත්‍රීවරයා එම හෝටලයේ දී වීඩියෝ පටිගත කිරීමක නිරත වූ අවස්ථාවේ, එහි සිටි පුද්ගලයෙකු තමා වීඩියෝ පටිගත නොකරන ලෙස ඉල්ලා සිට ඇත.

පොලීසිය පවසන පරිදි, දැනට දෙපාර්ශවයෙන්ම ලැබී ඇති පැමිණිලි මත පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර දෙපාර්ශවයේම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරමින් පවතින බව ද පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත පවසා සිටියේය.

වාහන ගන්න අයට සීසර් සංගමෙන් අවවාදයක්.!

වාහන ගන්න අයට සීසර් සංගමෙන් අවවාදයක්.!

සමස්ථ ලංකා දේපොල අත්පත් කරගගැනීමේ වෘතිකයන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් පවසන්නේ වාහනයක් මිලදී ගැනීමේදී තමන්ට ගෙවිය හැකි වාරිකය තීරණය කර මූල්‍ය ආයතන හරහා ණය ලබාගන්නා ලෙසයි.

යම් හෙයකින් වාරික හෙවාගැනීමට නොහැකි අවස්ථාවකදී ඒ වෙනුවෙන් මැදිහත්වී සහන සළසන බවට පවසන පිරිස් වෙත නොරැවටී අදාළ මූල්‍ය සමාගමින් හෝ තම සංගමය අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්න ලෙස එම සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පවසයි.

We are happy to invite you.