වසර ගණනාවක් තිස්සේ සිමෙන්ති හෝ ඒ ආශ්රිත කිසිදු නිෂ්පාදනයක් කිරීමට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව අපොහොසත් වී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
සංස්ථාව ස්ථාපිත කිරීමේ අරමුණ සිමෙන්ති කර්මාන්තයේ දියුණුවට මගපෙන්වීම, නායකත්වය ලබාදීම සහ රටේ අවශ්‍යතාව සපුරාලිය හැකි පරිදි සිමෙන්ති හා ඒ ආශ්රිත නිෂ්පාදන සැපයීම වුවද පවතින තත්ත්වය තුළ ඒ අරමුණ ඉටු නොවන බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සිමෙන්ති සංස්ථාව පසුගිය වසරේ ආදායම් ලෙස උපයාගෙන තිබෙන්නේ අරුවක්කාලු හුනුගල් නිධිය හා එහි ඛනිජ වැලි වෙන්කර ගැනීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ලැබුණු රුපියල් 13,26,03,156ක බදු කුලිය හා කොල්ලුපිටියේ පිහිටි ඉඩමක් රථගාලක් සදහා බදු දීමෙන් ලද රුපියල් ලක්ෂ 59කට ආසන්න කුලී ආදායම පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
කොල්ලුපිටියේ ඉඩම බැංකුවට උකස් තැබීමෙන් රුපියල් 3,87,00,000ක ණය මුදලක් සංස්ථාව ලබාගෙන ඇති අතර ඒ වෙනුවෙන් 2023 වසරේ රුපියල් කෝටියකට අධික පොලී මුදලක් ගෙවා ඇති අතර එතරම් අධික වාණිජ වටිනාකමක් සහිත ඉඩම රථගාලක් සදහා ලබාදී තිබෙන්නේ රුපියල් ලක්ෂ 59කට ආසන්න කුලියකට බවත් එනිසා ඉඩමෙන් ඵලදායී ආයෝජනයක් සිදුව නැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මීට අමතරව 2015 දී රුපියල් 21,80,40,000 කට තක්සේරු කර ඇති කන්කසන්තුරේ පිහිටි සංස්ථාවට අයත් තෙල් ටැංකි දෙකක් හා නළ පද්ධතිය ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත රාජ්‍ය සමාගමට ලබාදී තිබෙන්නේ ලිඛිත ගිවිසුමකින් තොරව බවත් එනිසා ඒවායින් කිසිදු ආදායමක් සංස්ථාවට ලැබී නැති බවද විගණන වාර්තාවෙන් අනාවරණය වේ.
ලක්ෂ 12ක් වටිනා ගාල්ල, උණවටුන, කැස්බෑපාන ඉඩම සුනාමියෙන් හානි වූ නිවාස 60ක් ඉදිකිරීම සදහා හබරාදුව ප්‍රාදේශීය ලේකම් විසින් අත්පත් කරගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු වන්දි මුදලක් ලබා ගැනීමට සංස්ථාව කටයුතු කර නැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
සංස්ථාව තමන්ගේ අරමුණ වෙනුවෙන් කටයුතු කර ආදායම් ඉපයීම පමණක් නොව ඉඩම් හා දේපොළ බදු හා කුලී පදනම මත ලබාදීමෙන් ඉපයීය හැකි තක්සේරු වටිනාකමවත් උපයා ගැනීමට කටයුතු නොකර පාඩු ලබන ආයතනයක් බවට පත්කර ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.