“Clean Sri Lanka” වැඩ අරඹයි.!

“Clean Sri Lanka” වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලිසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීමට දෙදින වැඩ මුළුවක් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අද (18) ආරම්භ විය.

මෙහි සමාරම්භක අවස්ථාවට එක් වෙමින් වැඩසටහන වෙත පිවිසි සියලුම නිලධාරීන් පිළිගනිමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පිළිගැනීමේ කතාව සිදුකරන ලදි.

දේශීය ප්‍රජාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන, පරිත්‍යාගශිලී ප්‍රජාව, මාධ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සුබවාදීව ඔප්නංවා ගැනීම වෙනුවෙන් පාලන තිරසාරභාවය, සමාජ තිරසරභාවය, පාරිසරික තිරසරභාවය හා ආර්ථික තිරසරභාවය යන අංශ උසස් කරලීම මූලික අරමුණු කරගත් “Clean Sri Lanka” ව්‍යාපෘතිය වර්තමානය වන විට ඉතාමත් සාර්ථක අයුරින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන බව තම පිළිගැනීමේ කතාවේදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන ලදි.

තවද, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රමුඛ නව රජය විසින් වර්තමානයේ අප රට මුහුණදී සිටින නව ආර්ථික අර්බුදකාරී තත්වයන් සමථයකට පත්කර, ස්ථාවර රටක් නිර්මාණය කිරීම සදහා ජාත්‍යන්තර ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින්, ආර්ථික සහ සමාජීය ක්‍රම වේදයකට පදනම සකස් කිරීම වෙනුවෙන් ගෙන යනු ලබන ජාතික ප්‍රතිපත්තීන් සාර්ථක කර ගැනීම ඒකායන අරමුණ බවත් ”පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ යහපත් අනාගතයක් සදහා වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශයට අනුගත වෙමින්, එය සාක්ෂාත් කර ගැනීමට අප සියලු දෙනාගේ දායකත්වය උසස් අයුරින් ලබාදීම අප සැමගේ වගකීම බවත් මෙහිදී සියලු දෙනා අමතමින් සඳහන් කරන ලදි.

ශ්‍රී ලාංකිකයින්ගේ පොදු යහපත මෙන්ම රාජ්‍යයක් වශයෙන් නිසි සංවර්ධන ඉලක්කයන් තිරසාර අයුරින් පරිපූර්ණ කර ගැනීමට සමස්ථ ප්‍රජාවගේ දායකත්වය “Clean Sri Lanka” වැඩසටහන වෙනුවෙන් ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ තෝරාගත් පුහුණුකරුවන් සඳහා මෙම පුහුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ජනාධිපති ලේකම් ආචාර්‌ය නන්දික සනත් කුමානායක මැතිතුමන් එක් වෙමින් මෙම වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීම සිදු කරන ලදි.

තවද, “Clean Sri Lanka” වැඩසටහන හා සංකල්පය හඳුන්වාදීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න සිදුකල අතර, “Clean Sri Lanka ” සමාජීය ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුවත් කිරීම චින්තක රාජකරුණා මහතා සිදු කරන ලදි. මෙම පුහුණු සැසියේදී මහාචාර්ය ටනි ප්‍රදීප් කුමාර මහතා විසින් ”Clean Sri Lanka” වැඩසටහනේ පාරිසරික ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුවත් කිරීමද, සාරධර්මීය අංශය පිළිබඳ මූලික දැනුවත් කිරීම කැලුම් ජයවීර මහතා විසින් සිදු කරන ලදි. සැසියේ පළමු දින අවසානයේ ‘තරණය’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අජිත් ජයසුන්දර මහතා විසින් සිදු කරන ලදි.

මෙම පුහුණු වැඩසටහනේ දෙවන දිනය හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත අතර, එහිදී කාන්තා සහ ළමා ආරක්ෂක නීතිය පිළිබඳ මූලික දැනුවත් කිරීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකා අමරසිංහ මහතා විසින්ද, Responsibility and accountability or public officer යන මාතෘකාව යටතේ දේශණයක් මේජර් ජෙනරල් සජිත් ලියනගේ විසින්ද සිදුකිරීමට නියමිතව ඇත. මීට අමතරව කණ්ඩායම් ඉදිරිපත් කිරීම් සිදුකිරීමට ද සැලසුම් කර ඇත.

අප රට ආර්ථිකමය සහ සමාජීය වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් සියලුම පුරවැසියන් සම්බන්ධ කරගැනීම සඳහා ක්‍රියාත්මක වන්නා වූ, “Clean Sri Lanka” වැඩසටහනේ අවශ්‍ය අරමුණු සාක්ෂාත් කිරීමටත් හා එකී ඉලක්කගත පිරිස් රාජ්‍ය සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමටත්, මෙම නිලධාරින් පුහුණු කිරීමේ වැඩසටහන ඉවහල් වනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.