රුපියල් 372ක බෙහෙතක් රුපියල් 72000 බැගින් ගෙන්වලා.. කෝප් කමිටුවේදී හෙළිවෙයි.!

වර්තමානයේ රුපියල් 372 ක මිලකට ලබා ගත හැකි හෘද සැත්කම් සඳහා යොදා ගන්නා ඖෂධයක් අතීතයේදී රුපියල් 72,000 ක අධික මිලකට ආනයනය කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තහවුරු වී තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය සාධනය සමාලෝචනය කිරීම සඳහා පැවති කෝප් කමිටු රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය. රැස්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීන් සහ නිලධාරීන් කැඳවා තිබූ අතර, එහිදී අධිකාරියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා ඇත්තේ එම කාලසීමාවේ මිල සහතිකවල සඳහන් කර තිබුණේ නිෂ්පාදකයා විසින් ලබා දුන් මිල ගණන් පමණක් බවයි.

2019 වසරේදී ලබා දුන් මිල ගණන් නිවැරදිද යන්න පිළිබඳව සහ අනෙකුත් රටවල පැවති මිල ගණන් සමඟ සංසන්දනාත්මක විශ්ලේෂණයක් සිදු කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊට අමතරව, කෝප් කමිටු රැස්වීමේදී තවත් වැදගත් කරුණක් අනාවරණය විය. ඒ නම්, ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විමර්ශනය කර නොමැති බවයි. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පාර්ශවයෙන්ද බරපතල වැරැද්දක් සිදු වී ඇති බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ මහතා මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ එම කාලවකවානුවේදී ව්‍යාජ ලියකියවිලි රැසක් සංසරණය වී ඇති බවයි. පසුගිය වසරේදී පමණක් එවැනි ව්‍යාජ ලේඛන හයක් හඳුනාගෙන ඇති බවත්, එම ලියකියවිලි පිළිබඳව වංචා විමර්ශන අංශයට පැමිණිලි කර ප්‍රකාශ ලබා දුන් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කෝප් කමිටු රැස්වීමට රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Loading

We are happy to invite you.