ශ්‍රී ලංකාව තුළ Crypto භාවිතය සම්බන්ධයෙන් තීරණයක්.!

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ crypto මුදල් භාචිතය පිළිබඳව සාකච්ඡාවට ලක්විය.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ එම අවසර ලබාදෙන්නේද නැද්ද යන්න අවසන් තීරණය මහබැංකු අධිපතිරවරයා විසින් ලබාදෙන නිර්දේශ මත ක්‍රියාත්මක කරන බවයි.

ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කයක් වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම, සමස්ත රටේම සිදුවන පරිවර්තනයක් ලෙස සළකා සියලුම දෙනා කටයුතු කිරීම වැදගත් බව මෙහිදී අදහස් දක්වමින් ගරු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඉදිරියේදී ඩිජිටල් ආර්ථික කටයුතු සිදුවන අංශයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ. එහිදී රාජ්‍ය ඩිජිටල් කරණයේ ප්‍රමුඛයා වන ICTA ආයතනය ඩිජිටල් ආර්ථික අධිකාරිය යටතට පත්කර වඩාත් ඵලදායී ආකාරයෙන් සේවාවන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

තවද රාජ්‍ය ආයතන විසින් විවිධ ආයතන මගින් තමන්ගේ තොරතුරු හා දත්ත රැස්කිරීම වෙනුවෙන් විවිධ පද්ධති නිර්මාණය කර ඇති අතර ඒවා ඉදිරියේදී විධිමත්ව එක් ආයතනයක් ඔස්සේ නිර්මාණය කිරීමේ වැදගත්කමද මන්ත්‍රීවරයන් පෙන්වා දුන්හ. මෙහිදී අදහස් දක්වමින් ගරු ජනාධිපතිවරයා පවසා සිටියේ එවැනි පද්ධති රාජ්‍ය අධීක්ෂණක සහිතව නිර්මාණය කළ යුතු බවත් දැනට එම පද්ධති නිර්මාණය නොකිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි. එමෙන්ම ඒ ඒ ආයතනවල අවශ්‍යතාව අවබෝධ කරගනිමින්, එම පද්ධති නඩත්තු කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කමද වැඩි දුරටත් අදහස් දක්වමින් ගරු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම දිවයිනේ යම් යම් ප්‍රදේශවල දුරකථන සංඥා ආවරණයන්ගේ පවතින දුර්වලතා පිළිබඳවද මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. ඒ අනුව ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රදේශවල නව සංඥා කුළුණු 50ක් ඉදිකිරිමට සැළසුම් කර ඇති බවත් ඒ ඔස්සේ යම් ප්‍රමාණයකින් මෙම දුරකථන සංඥා අවහිරතා අවම කරගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

තවද ජංගම දුරකථන පරිශීලකයින්ට ජංගම දුරකථන ජාල ක්‍රියාකරු වෙනස් කිරීමේදී තමා භාවිතා කල ජංගම දුරකථන අංකයම නැවත ලබාගැනීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර ඊට පිළිතුරු ලබාදෙමින් නිලධාරීන් පැවසුවේ එම පහසුකම ලබන ජූනි මස සිට ක්‍රියාත්මක වන බවයි.

මෙම සාකච්ජාවේදී මෙරට පුරවැසියන්ගේ පෞද්ගලික දත්තවල සුරක්ෂිතභාවය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග, AI තාක්ෂණය ඇතුළු නව තාක්ෂණයන්ට මුහුණ දියයුතු ආකාරය, තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්ගේ වැටුප් යනාදී කරණු පිළිබඳව ද අවධානය යොමුවිය.

මෙම අවස්ථාව සඳහා ගරු අමාත්‍යවරුන්, ඩිජිටල් ආර්ථික ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන්, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.