By unusuma.lk on
(LK time)දංකොටුව පොලිස් වසමේ ඇටියාවල ප්රදේශයේ පියකු හා පුතකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් කෝපයට පත් පියා ධීවර කටයුතුවල දී මසුන් මැරීමට උපයෝගී කර ගන්නා මණ්ඩාවකින් සිය පුතාගේ මුඛයට පහර දී තිබේ.
එල්ල කළ එම මණ්ඩා ප්රහාරයෙන් එය මුඛය හරහා ඇතුළු වී එය ඉවත් කිරීමට නොහැකිව මණ්ඩාවත් සමග රෝගියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට ප්රදේශවාසීන් කටයුතු කර ඇති බව දංකොටුව පොලිසිය පවසයි.
ඇටියාවල පදිංචි සජිත් රමේෂ් නමැති වයස අවුරුදු 24ක එක්දරු පියකු මෙම ප්රහාරයට ලක්ව ඇති අතර ප්රහාරය එල්ල කළ පියා, ප්රහාරයට ලක්වූ පුතා හා ඔහුගේ බිරිඳ සහ අවුරුද්දයි මාසයක් වයසැති දරුවා එකම නිවසේ පදිංචිව සිටින අතර සිද්ධිය වූ දින පුතා නිවසට පැමිණීමට ප්රමාද වූ බව පවසමින් පියා සහ පුතා අතර බහින්බස්වීමක් ඇතිවී තිබේ.
මෙම ප්රහාරය හේතුවෙන් මණ්ඩාවේ ඉදිරිපස ඇති කොටසේ බිලී කොකු මෙන් සකසා ඇති තියුණු උල් කීපයක් මුඛය පසාරු කරගෙන ගොස් ඇති අතර ගැලවීමට නොහැකි ලෙස මුඛය කොටසට ඇතුළු වී ඇති මණ්ඩාව සමග ප්රහාරයට ලක් වූ අය දංකොටුව රෝහලට ඇතුළත් කිරීමට ඇත.
එහිදී රෝගියා වැඩිදුර ප්රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල පියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරන බව දංකොටුව පොලිසිය පවසයි.