මෙවර දළඳා දැක්මේ සුවිශේෂීත්වය මහනායක හිමිවරු පවසයි.!

අද (02) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්‍යය පිළිබඳ මූලික සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී සාකච්ඡා වූ පරිදි දළදා දැක්ම අප්‍රේල් 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති අතර අප්‍රේල් 18 වනදා සවස 3.00සිට සවස 5.30 දක්වාත් 19 වනදා සිට 27 වනදා දක්වා දහවල් 12.00 සිට සවස 5.30 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

එහිදී සංඝයා වහන්සේලා පවසා සිටියේ මෙරට ඉතිහාසය තුළ ජනාධිපතිවරයකුගේ මූලිකත්වයෙන් මෙවැනි දළඳා ප්‍රදර්ශනයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවයි.

ජනාධිපතිවරයා පවසා සිටියේ තම ජීවිත කාලයේ කවදා හෝ දිනක දළදා වහන්සේ වැඳ පුදාගත යුතුය යන්න මෙරට බෞද්ධ ජනතාවගේ අපේක්ෂාව වන බැවින් වසර 16කට පසුව රටේ බෞද්ධ ජනතාවට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ මහානායක හිමිවරුන්ට ස්තූතිය පුද කරනා බවයි.

එමෙන්ම රට තුළ ගිලිහෙමින් තිබෙන ශිෂ්ටත්වය යළි ස්ථාපිත කරමින් ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම අවස්ථාව ඉවහල් කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන පරිදි මෙම කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුත් අවුරුද්දේ දිගුවක් ලෙස පැවැත්වෙන මෙම දළදා දැක්මේ මංගල්‍යය රට අලුත් දිශාවකට යොමු කරනු ඇති බවට විශ්වාසය පළ කළේය.

දින දහයක් මුළුල්ලේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා ලක්ෂ සංඛ්‍යත ජනතාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා පළ කළ ජනාධිපතිවරයා ඔවුන්ට කිසිදු බාධාවකින් හා අවහිරයකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාකර දීම සියලුදෙනාගේ වගකීම බවත් රජයක් ලෙස ඒ සඳහා උපරිම දායකත්වය සහ මැදිහත්වීම ලබාදෙන බවද සඳහන් කළේය.

විශේෂ දළදා ප්‍රදර්ශනයේදී ප්‍රධාන වශයෙන් පෝලිම් තුනකින් පැමිණෙන මහජනතාවට දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව ලබාදීමට මෙහිදී සාකච්ඡා විය.

දළදා වහන්සේගේ හා මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගෙන් ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදු කෙරෙන කාලවකවානුව තුළ මහනුවර ප්‍රදේශයේ පාසල් නිවාඩු ලබාදීමටත් ඒ සඳහා දරුවන්ගේ අධ්‍යාපනයට වෙනත් දිනයන්හි පාසල් පැවැත්වීමටත් යෝජනා විය.

දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සහ කසළ කළමනාකරණය පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කළ අතර එම කාලය තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කෙරිණි.

එමෙන්ම ජනතාවගේ සෞඛ්‍ය, පානීය ජල අවශ්‍යතා සහ සෙසු පහසුකම් සැලසීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම වෙනුවෙන්  දන්සල්  පැවැත්වීමට කැමැති පිංවතුන්ට ලියාපදිංචිවීම සඳහා අවස්ථාව ලබාදීමටද සාකච්ඡා විය.

එමෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා දළඳා මාලිගාව අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යෙදවීමටද නියෝග කළේය.

ජනතාව තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන අයුරින් සැරසිලි කටයුතු සිදු කිරීම සහ විශේෂ දළදා දැක්මේ මංගල්‍යය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.