By unusuma.lk on
(LK time)කොළඹ කොල්ලුපිටියේ පිහිටි මිරකල් සිටි නම් නවාතැන් පොළේ කාමරයක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික සහ ජර්මානු ජාතික තරුණියන් දෙදෙනෙකු පසුගිය 1වැනිදා හදිසියේම මියගියේය.
මියගිය තරුණියන්ගෙන් එක් අයෙකු වන එක්සත් රාජධානියේ සිට පැමිණි වයස අවුරුදු 24ක් වූ එබනි මැකින්ටොෂ් නම් තරුණිය සමාජ මාධ්‍ය තුළ ප්‍රභල චරිතයක් බව වාර්තා වේ.
ඇය දකුණු ආසියාවේ සංචාරයක නිරත වීමේ සිහිනයක සිටි බවත් ඒ අනුව පසුගිය ජනවාරි 28 වන දින පළමුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවත් ඇගේ සහෝදරිය සමාජ මාධ්‍ය සටහනක් තබා ඇත.
කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි 1 වන සෙනසුරාදා, ඇය ඇතුළු එම හෝටලයේ රැඳී සිටි තවත් නවාතැන්කරුවන් කිහිප දෙනෙකු වමනය, ඔක්කාරය සහ ආශ්වාස ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර ඇත.
එම හෝටලයේ රැඳී සිටි එබනි සහ අනෙක් ජර්මානු කාන්තාව එකම කාමරයේ නවාතැන් ගෙන සිට ඇති අතර, ඔවුන් රෝහල් ගත කිරීමෙන් පැය කිහිපයකට පසු මියගොස් තිබේ.
තවකාලිකව දැනට නවාතැන් පොළ වසා දමා ඇති අතර මකුණන් මර්දනය කිරීම සඳහා යොදා ගත් කෘමිනාශක විශේෂයක් හේතුවෙන් ඔවුන් මියයන්නට ඇතැයි සැක කෙරේ.
මෙම මරණ සිදුවීමට පැය 72කට පෙර අසල කාමරයක මකුණන් මර්ධනය කිරීම සඳහා යොදා ගත් කෘමිනාශක විෂ වායු හේතු වී ඇති බවට සැක කෙරෙනා නමුත් මෘත පරීක්ෂණ වාර්තාව තවමත් නිකුත් කර නොමැත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින අතර, මෘත පරීක්ෂණ වාර්තාව මගින් මරණයට හේතුව තහවුරු කෙරෙනු ඇත.