By unusuma.lk on
(LK time)පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලබා ගැනීමට නොහැකි වූ දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊයේ (17) කුසපත් ඇදීමෙන් තෝරාගෙන තිබේ.
මේ අනුව ජාතික ජනබලවේගයේ එල්.ඒ. සමන්සිරි වීරසිංහ මහතා සභාපතිවරයා ලෙස පත් විය.
දෙහිඕවිට ප්‍රාදේශීය සභාවට සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා වූ විශේෂ සභා රැස් වීමක් ඊයේ (17) සබරගමුව පළාත් පාලන කොමසාරිස් එල්.එම්.පී.ඩබලිව්. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දෙහිඕවිට ප්‍රාදේශීය සභාව සභික ආසන 36කින් සමන්විත වෙයි. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේගය සභික ආසන 16ක් දිනාගත්තේය.
සමගි ජන බලවේගය පක්ෂය ආසන නවයක්ද, ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ ආසන තුනක්ද, පොදුජන පෙරමුණ සහ ස්වාධින කණ්ඩායම ආසන දෙක බැගින්ද, එක්සත් ජාතික පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක් ආසනය බැගින් ද දිනා ගත්තේය.
සභාවේ වැඩි කැමැත්ත පරිදි සභාපතිවරයකු තෝරා පත් කරගැනීම රහස් ඡන්දයකින් පවත්වා ඇති නමුත් එහිදී ජාතික ජනබල වේගයෙන් ඉදිරිපත් වූ එල්. ඒ. සමන්සිරි වීරසිංහ මහතා හා පොහොට්ටුවෙන් ඉදිරිපත් වූ දමිඳු ශ්යාමින්ද මහතා ඡන්ද 17 බැගින් සම සමව ලබාගෙන තිබේ.
එහිදී කුසපත් ඇදීමකින් පසු සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ වීරසිංහ මහතා සභාපතිවරයා ලෙස තේරී පත්වූ බව ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍යාමා වපොළ මහත්මිය දැනුම් දුන්නාය.
එසේම උප සභාපති ධුරයට ඡන්ද 19 ක් ලබා ගෙන ජාතික ජනබල වේගයේ ටී.වී. සමරවීර මහතා පත් විය.
කෙසේවෙතත් මෙම ඡන්ද විමසීමේදී සභිකයෝ දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.