By unusuma.lk on
(LK time)වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට නියම කර සිටි කාලය ගත කළේ ජනධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු පිරිසක් සහ තමා සමග බව නීතිඥ සංජය වීරවික්‍රම මහතා පවසනවා.
දේශබන්දු තෙන්නකොන් මහතා සිදු කර ඇතැයි පවසන සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙක් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඊයේ (17) රැස් වූ අවස්ථාවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් සැගව සිටි නමුත් පලා ගොස් සැගව සිටියේ නැති බවට එහිදී නීතිඥ සංජය වීරවික්‍රම පැවසූ අවස්ථාවේදී, “නැති සාක්ෂි හැදීමෙන් වළකින ලෙසට” සභාපතී ප්‍රිතී පද්මන් සූරසේන මහතා එහිදී අවධාරණය කළ බව සඳහන්.
මේ අතර මාතර, වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේදී මිය ගිය පොලිස් නිලධාරියාට පොලිස් ත්‍යාග මුදල් ලෙස ලබා දුන් ලක්ෂ 15ක මුදලට අමතරව ජනාධිපති අරමුදලින් ලක්ෂ 25ක් ලබා දීමට කටයුතු කර ඇති බවත් ඒ වෙනුවෙන් එවකට ජනාධිපතිවරයාගෙන් ඊට අදාළ ඉල්ලීම කරන්නට ඇත්තේ එවකට පොලීසිය භාර ඇමැතිවරයා වූ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා බවට තමන් විශ්වාස කරන බවත් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි..
එම ඉල්ලීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සිදුකළ නොහැකි අතර මියගිය අදාළ පොලිස් නිලධාරියාට ජනාධිපති අරමුදලින් ලක්ෂ විසිපහක මුදලක් ලබාදීමේ යෝජනාව ඇමැති ටිරාන් අලස් මහතාට යොමුකරන්නට ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති අරමුදලින් හා පොලිස් ත්‍යාග අරමුදලින් ලබාදී ඇති රුපියල් ලක්ෂ හතලිහක මුදලක් මියගිය නිලධාරියාගේ බිරියගේ බැංකු ගිණුමකට යොමුකර ඇති බවට පැවසූ වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ, එම මුදල ලබාගත නොහැකි වන ආකාරයෙන් අත්හිටුවීමකට ලක්කර ඇති බවයි.
මෙහිදී අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා සඳහන් කළේ අදාළ නිලධාරියාගේ බිරියගේ ගිණුමට මෙලෙස බැරකර ඇත්තේ රාජ්‍ය මුදල් බැවින් මෙවැනි ආකාරයට එම මුදල් අවභාවිත වීමට ඉඩ දිය නොහැකි බවයි.
එමෙන්ම මෙම සිද්ධියෙන් මිය ගිය නිලධාරියාගේ තනතුරක් ඉහළ දමන ලෙසද ඉල්ලීමක් කර ඇති බවද ප්‍රියන්ත වීරසූරිය මහතා තවදුරටත් කියා සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ විමර්ශන ඒකකය හරහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කරන බැවින් එම ඉල්ලීම මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු කමිටුව හමුවේ අවධාරණය කළේය.
මේ අතර, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පුවත්පත් වාර්තාවක් අමුණා එවමින් මාතර, වැලිගම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වාර්තාවක් ලබා දෙන ලෙස එවකට වැඩ බලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අවස්ථා දෙකකදී දැනුම් දීම් සිදු කර ඇති බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
එසේ වූවද ඊට අදාළව දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අවස්ථා දෙකකදී ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇත්තේ එකම ලිපිය බවට ප්‍රියන්ත වීරසූරිය මහතා අනවාරණය කළේය.
අනතුරුව තමාටද පොලිස් කොමිසම විසින් අදාළ පුවත්පත් ලිපිය සමග මෙම සිදුවීම ගැන වාර්තාවක් ලබා දෙන ලෙස ලිඛිතව දැනුම් දුන් බවත්, ඒ සඳහා මාසයක පමණ කාලයකින් ලබා දෙන ලෙස දැනුම් දුන් පසු එම වාර්තාව යොමු කළ බවත් සාක්ෂිකාර පොලිස්පතිවරයා කමිටුව හමුවේ පවසා සිටියා.
මේ අතර, මීට පෙර දැනුම්වත් නොකළද මෙම වෙඩි තැබීමේ සිද්ධියට සහභාගි වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරින් අදාළ වෙඩි තැබීම සිදු කළ අවස්ථාවේ පැමිණි ජංගම මුර සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරී කණ්ඩායමට සිය කණ්ඩායම පොලිස් නිලධාරීන් යනුවෙන් හඳුන්වාදීමට කටයුතු කළ යුතුව තිබූ බවත්, එසේ සිදු නොකර මෙලෙස පලායාමට උත්සාහ කිරීමෙන් මෙම සිද්ධිය මීට වඩා ව්‍යසනකාරී සිද්ධියක් බවට පත්වීමට ඉඩ තිබූ බවත් වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.
එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස් විශේෂ කාර්ය බළකායේ 28ක්, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ 09ක් සහ විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ 06ක් ලෙස 43 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී තිබූ බවත්, කෙසේ වෙතත් නොදන්වා සැඟව සිටීමට පොලිස්පතිවරයා කටයුතු කිරීමත් සමඟ එම 43 දෙනා නැවත අදාළ කොට්ඨාසවලට කැඳම සිදු කළ බවත් සාක්ෂිකාර වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළා.
පොලිස්පති ධුරයේ වැඩ තහනමට ලක්වූවාට පසු වැටුප් සහ දීමනා ලබා දීම සම්බන්ධයෙන් තමා පළමුව නීතිපතිවරයාගෙන් විමසූ අතර, එහිදී නීතිපතිවරයාට මෙය අදාළ කාරණයක් නොවන බැවින් එය විගණකාධිපතිවරයාගෙන් විමසන ලෙස නීතපතිවරයා දැනුම්වත් කළ බවත්, ඒ අනුව විගණකාධිපතිවරයාගෙන් කළ විමසීමේදී වැටුප් ගෙවීම ගැටලුවක් නොවන බව දැනුම් දුන් බවත් වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.
ඒ අනුව, මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කරන තෙක් මෙම වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කළ බවත්, අනතුරුව මෙම නියෝගයත් සමඟ අත්හිටවූ බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් පැවසුවා.
“වැලිගම සිදුවීමේදී මියගිය උපුල් නම් නිලධාරියාට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්ෂ 15ක් ලබාදීමට කටයුතු කර තිබෙනවාද?
සාක්ෂිකරු – එසේය ස්වාමිනි. ලබාදී තිබෙනවා. ලක්ෂ තුනකට වැඩි ගෙවීම් වෙනුවෙන් අනුමැතිය ලබාදිය යුත්තේ පොලිස්පතිවරයා විසින්. නමුත් පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ලබාදීමේදී අනුගමණය කළ යුතු ක්‍රමවේදයක් තිබෙනවා. එය විධිමත් ලෙස සිදුකළ යුතුයි. එවැනි ගෙවීම් සිදුකළ හැකි ආකාරය සම්බන්ධයෙන් පොලිස් චක්‍රලේඛ, අණ පනත් ආදී සියල්ලෙහිම සඳහන් වෙනවා. නමුත් ඇතුළත් කළ යුතු උදෘතයන් පවා නොමැතිව හදිසි අවශ්‍යතාවයක් පරිද්දෙන් තමයි මෙම ඉල්ලීම සිදුකර තිබෙන්නේ.
නීතිඥ සංජය වීරවික්‍රම
බරපතළ චෝදනාවක් කලා මගේ සේවා දායකයාට.සැගව සිටියා කියලා පලා ගොස් සැගව සිටියේ නැහැ.මොහු කාලය ගත කළේ නීතිඥ රොමේශ් ද සිල්වා ඇතුලු කණ්ඩායමක් සමගයි.මා සමගත් කාලය ගත කලා යැයි මෙහිදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී නීතිඥ සංජය වීරවික්‍රම මහතා සඳහන් කළේය.
එහිදි සභාපතී ප්‍රිතී පද්මන් සූරසේන මහතා සදහන් කළේ මෙතන නැති සාක්ෂි හැදීමෙන් වළකින ලෙසයි“