By unusuma.lk on
(LK time)පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි (24) හා (25) යන දිනවල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) දින නියෝග කළේය.
අද දින යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබු අතර අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 08ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ, මෙම පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීම සඳහා කාලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේගේ ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ විරෝධතා ගොනු කිරීම සදහා නීතිපතිවරයාට කල් ලබාදුන්නේය.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු මෝසමක් ගොනුකර ඇති අතර ඊට එරෙහිව පෙත්සම්කාර පාර්ශව විසින් ද තවත් මෝසම් ඉදිරිපත් කර තිබුණේය.