By unusuma.lk on
(LK time)පසුගියදා සමාජය තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන වී. නිලන්ත මධුරංග (34) නැමති හිටපු යුද හමුදා සෙබළා පොලිස් වදහිංසන සහිත ප්‍රශ්න කිරීම් නිසා ඇතිවූ ගැටලු හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා, මාර්තු 13 වන දින අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.
අදාළ සැකකරු ඉලුක්වැව නව නගරය, වී. තුන ඇළ පාර පදිංචිකරුවෙකි. අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සැකකරු, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ඒ.සී. චන්ද්‍ර සහ පොලිස් සැරයන් රාජින් (48342) යන මහත්වරුන් විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය එම්.ඒ. ගුණතිලක මහතා වෙත ඉදිරිපත් කරන ලදී.
මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරු සිරුර නවා අපහසුතාවෙන් සිටින අයුරු නිරීක්ෂණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහුට කෙළින් සිටගෙන සිටින ලෙස දන්වා ඇත.
එම අවස්ථාවේ දී සැකකරු තමාට පොලිසියෙන් කෲර ලෙස පහර දී ගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කළ බවත්, එම හේතුව නිසා තමන් අපහසුවෙන් සිටින බවත් මහේස්ත්‍රාත්වරයාට පවසා ඇති අතර සැකකරුගේ ප්‍රකාශය සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු නැවත අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කර, අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
මේ අතර, සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබාදීමේ චෝදනාව මත සැකකරුගේ වැඩිමහල් සහෝදරිය වන ගල්කඩවල, කටුගහගරය, ඊතණ ඇළ පාරේ පදිංචි සාලිකා හර්ෂනී රත්නායක ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය රත්නායක මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, සැකකාරිය තම සහෝදරයාට නවාතැන් පහසුකම් සලසා දී ඇත්තේ ඔහු අපරාධයක් සිදු කර පැමිණ ඇති බව නොදැනගෙන බවයි. සැකකාරිය චේතනාන්විතව අපරාධයක සැකකරුවකුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය සලසා දී නොමැති බව පෙන්වා දෙමින්, ඇය ඇප කොන්දේසි මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
අධිකරණය විසින් සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති අතර, සැකකරුගේ සහෝදරිය මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.