By unusuma.lk on
(LK time)ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය පවසන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකිරීමට තීරණය කළ බවයි.
සිසුන්ට නව ලෝකයට සරිලන විෂය මාලාවක් සකස් කර ඇතැත් විභාග ක්‍රමය, විෂය නිර්දේශය හා විෂයන් යාවත්කාලීන කිරීමට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වන බව සඳහන් කළ අධ්‍යක්ෂවරිය එම ප්‍රතිසංස්කරණ එකවර සිසුන්ට හඳුන්වා දීමට ගියහොත් විශාල අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ප්‍රකාශ කළා ය.
විභාග හෝ විෂයමාලා වෙනස් කළහොත් සිසුන් ඊට සූදානම් වීමට අඩු ම වශයෙන් වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බව වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, පළමු ශ්‍රේණියේ සිට ක්‍රමානුකූලව විෂයමාලා යාවත්කාලීන කර සිසුන්ට හඳුන්වා දෙන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනට 10, 11, 12 හා 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් අරබයා සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරගෙන යන බව පැවැසුවාය.
විෂය නිර්දේශ වසර අටකට වරක් යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදය ඒ අයුරින් ම පවත්වාගෙන යන බව ද විතානපතිරණ මහත්මිය සඳහන් කළා ය.
මේ අතර, පාසල් විෂය නිර්දේශය වසර දහයකට වරක් යාවත්කාලීන කළ යුතු යැයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළ බව එම කොමිෂන් සභාවේ සභාපතිනි පද්මිණි රණවීර මහත්මිය පැවසුවා ය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වසර අටෙන් අටට විෂය නිර්දේශ සංශෝධනය කිරීමේ කාල රාමුව වෙනස් කළ යුතු බව කී සභාපතිනිය විෂය නිර්දේශ සංශෝධනය කිරීමට එම කාලය ප්‍රමාණවත් නොවන බව සඳහන් කළා ය.
වසර දහයකට වරක් විෂය නිර්දේශ වෙනස් කළ යුතු බවට ලබාදුන් යෝජනාව අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් පිළිගෙන නැතැයි ද ඇය කීවාය.
පසුගිය වර්ෂවලදී වසර අටක් ගතවීමට පෙර දේශපාලන වෙනස්වීම් හේතුවෙන් විෂය නිර්දේශ සංශෝධනය කළ අවස්ථා තිබෙන බවද රණවීර මහත්මිය ප්‍රකාශ කළාය.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කරන වසර දහයේ සීමාව තුළ ඇතැම් විෂයන් යාවත්කාලීන කිරීමේ හැකියාව තිබෙන බවද සභාපතිනිය පැවසීය.