By unusuma.lk on
(LK time)ගණේමුල්ල සංජීව යනු රු 5000 ටත් මිනීමන්නෙකු බව පාතාල ලෝකයේ පවතින ප්‍රකට මතයකි.
ශ්‍රී ලංකාවේ පාතාල රජවරුන් ලෙස සැළකෙන අතලොස්ස අතර නම සලකුණු කරගත් දරුණු අපරාධකරුවෙකු ලෙසට හැඳින්වෙන ගනේමුල්ලේ සංජීව කොටි ත්‍රස්තයින් ලවාද වැඩගත් තැනැත්තෙකි.
ඉතිහාසය පුරා ඔහුගේ අණට අකීකරු කිසිවෙකුට ජීවත්වීමේ අයිතිය ලබාදීමට ගනේමුල්ලේ සංජීව කටයුතු කර නැත. ඔහු ඝාතනය වූ අද දිනයේ නඩුවද ඉතා පහත් නින්දිත ඝාතණයක් ලෙස සැලකේ.
කැලණිය ප්‍රදේශයේ නිවෙසක නිදාගෙන සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම හා කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකුට මරණීය තුවාල සිදුකළ බව කියන සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණේමුල්ලෙ සංජීව නමැත්තා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය පසුගිය 05 වනදා කළ නියෝගයෙන් පසු අද ඔහු අධිකරණයේ පෙනී සිටියේය.
සංජීව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි අතර බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
පට්ටිය හන්දිය ප්‍රදේශයේ යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබූ අතර එම සිද්ධියෙන් ඔහුව ලකෂ පහක් බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසද අධිකරණයෙන් නියම විය.
කැලණිය ප්‍රදේශයේ නිවෙසක නිදා සිටියදී ඝාතනයට ලක්ව ඇත්තේ එම්.ඒ. සජිත් රංග නමැති පුද්ගලයෙකි. සැකකාර පුද්ගලයා ඇතුළු තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කර ඇති බවද සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කරන පෑලියගොඩ පොලිසිය අධිකරණයට දැන්වීය.
ඉහත සඳහන් පළමු චෝදනා දෙක සම්බන්ධයෙන් තම සේවාදායකයා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසට පසුගිය 5 වනදා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු මෙම අද දින දක්වා තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබු අතර ඇතැම් විට අද ඇප ලබාගන්නටද ඉඩ තිබුණි.
කෙසේවෙතත් ශ්‍රි ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතර ප්‍රමුඛ පෙලේ ත්‍රස්ථවාදී සබඳතා මෙන්ම දේශපාලන සම්බඳතා පැවැත්වූ පුද්ගලයෙකු ලෙස ගනීමුල්ලේ සංජීව හැඳින් වෙයි.
ඔහුගේ මෙම ඝාතනයත් සමඟ ඔහු තොරතුරු අනාවරණය කිරීමට සූදානමින් සිටි නඩු කටයුතු 12ක් අවසන් වනු ඇති බව වාර්තා වෙයි.
කාලයක් තිස්සේ පොලිසියෙන් කට්ටිපනිමින් රවල් වල සැඟව සිටි මෙම අපරාධකරු නීතියේ රැහැනට කොටුවන්නේ 2023 වසරේ වෙනත් නමකින් කටුනායකට පැමිනි අවස්ථාවේය.
ආගමන විගමන නිලධාරියාන් විසින් හඳුනාගත් ගනේමුල්ලේ සංජීව ඉන් පඩු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.
වසර කිහිපයක් විදෙස්ගතව සැඟව සිට නීතිය සත පහකට මායිම් නොකර රතු වරෙන්තු පවා ලබා සිටියදී තම ගෝල බාලයන් ලවා මෙරට මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකළ “ගනේමුල්ල සංජීව” නමැති මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරු අවසානයේ නීතියේ රැහැනට කොටු වූයේ එලෙසින්ය. “මාකිලංගමුවේ සංජීව” යන නමින්ද මොහුව හඳුන්වයි.
කෙසේවෙතත් මෙරට ඉතිහාසයේ අධිකරණයක විත්ති කූඩුව තුළ ඝාතනය වූ ප්‍රථම පුද්ගලයා ලෙස ගනේමුලේ සංජීව ඉතිහාස ගතවන අතර එමෙන්ම ඔහු විසින් සිදුකළ ඝාතණ ඇතුළු නොවිසිඳුනු අභිරහස් රැස්ක් ඔහුගේ ඝාතණයත් සමඟ අවසන් වනු ඇත.
එමෙන්ම ප්‍රභල දේශපාලන සම්බන්ධකම් හරහා ඔහු සිදුකළ අපරාධ බොහොමයක් මෙම ඝාතනයෙන් පසු ශාක්ෂි නොමැතිවීමෙන් අවසන් වීම බරපතල යුක්තිය කඩවීමකි.
ගනේමුල්ලේ සංජීවගේ ඉතිහාසය සහ වතගොත පිළිබඳ මාධ්‍යවේදී ගයාන් සමරසිංහ විසින් ලියූ විමර්ශනාත්මක අණාවරනයක මෙසේ සඳහන් වෙයි.
● ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වීම…
මීට සති කිහිපයකට පෙර මෙරට මධ්‍යය මහා උත්කර්ෂයෙන් වාර්තා කළේ “ගනේමුලේ සංජීව” සහ ඔහුගේ හිතවත් තවත් පාතාල සගයෙක් වූ “ගොත අසංක” සමග නේපාල ඉන්දියා මායිම අසලදී අත්අඩංගුවට ගත් බවය. ඒ ආරංචියෙන් වඩාත්ම පිනා ගියේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයන්ය. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහුගේ ප්‍රතිවාදීන් පසුගිය අගෝස්තු 25 වැනිදා අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි “ගනේමුල්ල සංජීවගේ” මාකිලංගමුව නිවසට වෙඩි තැබුවේය.
එම වෙඩි තැබීමෙන් නිවසේ කිසිවකුටත් අනතුරක් සිදු වූයේ නැත. වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සංජීවගේ බිරිය දියණිය ඇතුළු ඥාතීන් පිරිසක් නිවසේ රැඳී සිට ඇත. ටී 56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර තිබුණ අතර හිස් පතුරම් කොපු තිහකට ආසන්න ප්‍රමාණයක් එම ස්ථානයේ තිබී පොලිසියට සොයා ගැනීමට හැකිවිය.
අත්අඩංගුවට පත් වූ “ගනේමුල්ල සංජීව” හිටිවනම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත් වන්නේ මෙවැනි පසුබිමක් යටතේදීය.
දැනටමත් “ගනේමුල්ල සංජීව” නමැති අපරාධකරුව රඳවාගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දීර්ඝ ලෙස ප්‍රශ්න සිදුකරමින් සිටිති. ඒ අනුව ඔහු මේ රටට පැමිණි ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධ බරපතළ තොරතුරු එළියට ඇවිත් තිබේ. එය නිකුත් කර ඇත්තේ 2022.10.01 දිනයේය. මෙම බලපත්‍රය යොදා ගනිමින් යම් පුද්ගලයෙකු අගෝස්තු 30 ඉන්දියාවට ගොස් ඇත. ඉන් අනතුරුව එම පුද්ගලයා සැප්තැම්බර් මස 04 වැනිදා ඉන්දියාවෙන් කත්මණ්ඩු නුවර වෙත පැමිණ තිබේ. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ සැප්තැම්බර් 07 වැනිදා ඔහු කත්මණ්ඩු නුවරින් පිටවී ඇති බව පෙනෙන්ට තිබීමය.
කවුද මේ “ගනේමුල්ලේ සංජීව”…
මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, කිඹුලාඇලේ ගුණා ඇතුළු සමහර පාතාල නායකයන් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ලවා වැඩ කර ගත්තේය. එයට හොඳම උදාහරණය වනුයේ ඔවුන්ගේ ප්‍රධාන කුලී වෙඩික්කරු වන එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අපරාධකරුවෙක් වූ බුම්මාය. දැන් මධුෂ් එලොව ගොස්ය. සුජී රට හැර දා ගොස්ය. කිඹුලා ඇලේ ගුණා ඉන්දියන් අත්අඩංගුවේය.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල ගනයේ සාමාජිකයන්ගෙන් වැඩ ගත් තවත් පාතාල කල්ලි නායකයකු වනුයේ මෙලෙස අත්අඩංගුවට පත්වූ ‘මාකිලංගමුවේ සංජීව’ නොහොත් ‘ගනේමුල්ලේ සංජීව’ ය. ඒ බව පවසන්නේ අප නොව මෙරට බුද්ධි අංශය.
සංජීව සමරරත්න නොහොත් “ගනේමුල්ලේ සංජීව” නොහොත් “මාකිලංගමුවේ සංජීව” යනු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයටත් මුහුණ දුන් පුද්ගලයෙකි. තවදුරටත් අධ්‍යාපනයේ නිරත වෙමින් සාර්ථක ජීවිතයක් ගතකිරීමට ඔහුට හැකියාව තිබුණි. කලක සිට පාතාල උණක් ගසා තිබූ නිසා අධ්‍යාපනයට ආයුබෝවන් කියා ඔහු පාතාලය තෝරාගත්තේය. ඒ තෝරාගැනීම ඔහු දැනුවත්ව සිදුකළ එකකි.
පාතාලය තෝරාගත් “ගනේමුල්ල සංජීව” ට ව්‍යායාම් කර ඇඟ හදාගැනීමේ වුවමනාවක් තිබුණි. ඒ අනුව ඔහු බටපොත ජිම් එකක මාස කිහිපයක් ශරීර ව්‍යායාම්වල නිරත විය. ඒවනවිටත් ඔහු සුළු සුළු හොරකම් කිහිපයක් සිදුකර තිබුණි. එහි පළමු සොරකම ලෙස සැලකෙන්නේ කීර විකුණමින් ජීවත් වූ ආච්චි කෙනෙකු මංකොල්ලකා ලබාගත් රුපියල් තුන්සියයි.
ගමේ ජීවත් වීමට නොහැකි වූ තැන ඔහු වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණියේය. එලෙස පැමිණි ඔහු නයිවල හන්දියේ බෝගහට නුදුරින් ජිම් එකක නැවතී සිටියේය. එලෙස මාස කීපයක් සිටි ඔහු එම ජිම් එකටම පැමිණි තරුණයන් අට දෙනෙක් සමග මාරපොල හන්දියට නුදුරින් බිස්කට් වෑන් එකක් කොල්ල කෑවේය. එහිදී ඔවුන් රුපියල් 70000 ක පමණ මුදලක් මංකොල්ලා කා තිබුණි. එලෙස මංකොල්ලකා සති කිහිපයකට පසු ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ ඔහුගේ පළමු වරට බන්ධනාගාරගත වීමයි.
පළමු සිරගෙදර ගමනින් පසු දැන හැඳුනුම්කම් සමග එළියට එන ‘ගනේමුලලේ සංජීව’ පාතාලයේ අයියා කෙනෙකු ලෙසින් ගොඩනැගෙන්නේ 2009 වර්ෂයේදීය. ඒ මෙරට සිදුවූ රුපියල් කෝටි හයකට ආසන්න විශාලම බැංකු මංකොල්ලය සිදුකරමින්ය. එතැන් පටන් පාතාලයේ කෙරුමකු වීමට ඔහුට අවශ්‍ය වී තිබුණි.
● ගම්පහ පස් ජාවාරම…
ගම්පහ පස් ජාවාරම පාතාලයන් ගේ මුදල් ඉපයීමේ තෝතැන්නක් විය. ඒ අනුව “ගණේමුල්ලේ සංජීව” ගම්පහ පස් ජාවාරමට පිවිසෙන්නේය. ගම්පහ පස් පාතාලයේ ප්‍රසිද්ධ චරිතයක්ව සිටි “පස් පොඩ්ඩා” ගනේමුල්ලේ සංජීව සමඟ “පස් සෙල්ලම” පටන් ගන්නේ ‘හීනැටියන අසිත’ මරා දමමිනි.
මොවුන්ගේ කල්ලියේ සිටි තවත් ප්‍රබල සාමාජිකයකු වූයේ අජිත් කුමාර නොහොත් කළු අජිත් නොහොත් “අජා”ය. කලක් ගනේමුල්ලේ සංජීවගේ හොඳම වෙඩික්කරු වූයේ “අජා”ය. පසුපස හඹාගොස් වෙඩි තැබීම සඳහා දක්ෂයකු වන කළු අජිත්ව සිය ඉලක්ක සපුරා ගැනීමේ හොඳම වෙඩික්කරු ලෙස “ගනේමුල්ලේ සංජීව” විසින් තෝරා ගනු ලැබ තිබුණේ එළියේ සිට මෙන්ම ඇතුළේ සිටියදී ද වැඩ ගැනීම සඳහාය. ඉලක්කය සපුරණ අජිත්ගේ ගාස්තුව ගෙවීමට කිසිදු අවස්ථාවක සංජීව මග හැරියේ නැත. එහෙත් අජිත්ගේ ඉලක්කය වැරදී ගියේ ගම්පහ ඔස්මන් මරා දැමීමට සංජීව විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවෙනි.
ඔස්මන්ගේ ඉලක්කය “කළු අජිත්ගෙන්” ගිලිහුණු දිනයේ සිට අජිත් සහ සංජීව අතර ගැටුමක් ඇති වුණේය. වැරදී ගිය කුරුමාණම නිසා පොරොන්දු වූ මුදල අජිත්ට ලැබුණේත් නැත. දැඩි කෝපයට පත් “කළු අජිත්” පස් පොඩ්ඩාගේ හිතවතෙක් වූ “සුරේෂ්ගෙන්” කප්පම් ඉල්ලා තිබිණි. මේ ගැටුම මරණ කීපයක් දක්වා ඇදී ගියේය. අනතුරුව සංජීව විසින් “කළු අජිත්” ඝාතනය කර දැම්මේය. ඒ “හීනටියන සංඛ” නමැත්තෙක් හරහාය.
චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද” නමැති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන් වැනි විත්තිකරුට බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් ද “ගනේමුල්ලේ සංජීව” චෝදනා ලැබ සිටියේය. බන්ධනාගාරයේ සිටි “දෙමටගොඩ චමින්ද” අලුත්කඩේ අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී බන්ධනාගාර බස් රථය හරස් කර නැවැත්වූ යතුරුපැදිකරුවෝ දෙදෙනකු “දෙමටගොඩ චමින්දට” වෙඩි තබා පලා ගියහ. චමින්ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ අතර සිද්ධියට අදාළව “ගනේමුල්ල සංජීව” බන්ධනාගාරගත විය.
● එල්.ටී.ටී.ඊ. සම්බන්ධතාව…
එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආයුධ එක්රැස් කිරීම සහ එම ආයුධ දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට ලබාදී සංවිධානාත්මක අපරාධ සිදුකළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 ජනවාරි මස 24 වැනිදාය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරුවන් 12 දෙනා අවස්ථා කිහිපයකදී එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
2020 ජනවාරි මස 01 වැනිදා සැකකටයුතු අන්දමින් බෑගයක් කරේ දමාගෙන මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයකු පුලියන්කුලම පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබුවේය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ බියට පත්වන මේ පුද්ගලයා තමා සතුව තිබූ බෑගය අත්හැර පලා යන්නේය. ඉන්පසු බෑගය අවුස්සා බැලූ පොලිසියට පෙනී ගියේ මේ පලා ගිය පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල කොටි නායකයෙකු වන “ආනන්ද රාසා” නමැත්තා බවය.
වෙඩි තැබීමට සූදානම් කර තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 18ක්, මැගසීනයක්, ජීව අත්බෝම්බ 4ක්, හිරු එළියෙන් ක්‍රියාකරන පවර් බෑන්ක් 1ක්, ඇපල් වර්ගයේ නවීන පන්නයේ ජංගම දුරකථනයක්, සැම්සුන් වර්ගයේ නවීන ජංගම දුරකථනයක් ඇතුළු ආම්පන්න රාශියක් ද “ආනන්ද රාසාගේ” එම ගමන් මල්ලේ තිබී පොලිසිය සොයා ගත්තේය.
එයින් පසු ක්‍රියාත්මක වූයේ බුද්ධි අංශයි. ඒ අනුව ඒ 9 මාර්ගයේ මූතූර් කෝවිල දෙසට යන විට හමුවන දුම්රිය මාර්ගය අසලදී යුද උපකරණ තොගයක් ද සමග සැකකරුවන් හය දෙනකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. මෙයියමුත්තු රාසා සුදාහරන් නොහොත් “ගුණා”, ශ්‍රීකාන්තන් දර්ශනී නොහොත් “පොන්නම්බලම්”, ගනේෂ් මූර්ති සිදුහත් නොහොත් “සිදූ”, පූබාලසිංගම් සුරියබාලන් නොහොත් “සදන්”, තලයිසිංගම් කාන්දරූබන් නොහොත් ”කාර්තික්” සහ උමාගනේෂන් දයානිදි මෙම සැකකරුවෝ වූහ.
මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අට දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 ජනවාරි මස 02 වැනිදාය. රාසලිංගම් සිවරාජ් නොහාත් “වීරා” නොහොත් “කඩල් වීරන්”, කල්‍යාණ කුමාර් ශෂිකුමාර්, මනුජය ප්‍රමෝද්, කාවින්ද පතිරණ, මාලන් ඩෝසර් විජයසිරිවර්ධන, ඉන්ද්‍රජිත් රංගන කරුණානායක, හිමාල් හර්ෂණ, ප්‍රදීප් දේශප්‍රිය සහ ඇනස්ලි ප්‍රභාගර් ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා”, වසන්ත ජූඩ් නිරෝෂන්, විජයන් සැලන් කුමාර් නොහොත් “සැලඩ්” සහ ඝනපති කදිරවේලු නොහොත් “සාමි” එම සැකකරුවෝ වෙති.
වේන්ද්‍රන් නොහොත් අප්පා යනු 2007 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනිදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවාගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි. එමෙන්ම ඔහු යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාවට භාර නොවී සැඟව සිටි අයෙකි.
යුද හමුදාව ඔහු “අප්පා” ලෙසින් හැඳින්වූ අතර නාවික හමුදාව ඔහු හඳුන්වන්නේ “නෙරන්ජන්” නමිනි. මෙම තැනැත්තා ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණිකයන් පැටවීමේ ජාවාරමක ද නිරතව සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. අප්පා මේ සිද්ධිවලට බන්ධනාගාරගතව සිටියදී දකුණේ පාතාලය සමග හාදකම් පැවැත්වීමට අවස්ථාව උදාවන අතර “ගනේමුල්ලේ සංජීවගේ” ආශ්‍රය ඔහුට ලැබුණේය.
“ආනන්ද රාසා” ළඟ තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක්, “අප්පා” විසින් කොළඹ ගෙනැවිත් පාතාලය වෙත මුදලට විකුණා ඇති බවට කෙළඹ අපරාධ කොට්ඨාසය කරුණු හෙළිකරගෙන තිබිණි.
“වීරා” නොහොත් “කඩල් වීරන්” සහ ඊතනවත්ත ආරච්චිගේ අමිල නුවන් නොහොත් “ගොත අසංක” විසින් යතුරු පැදියකින් පැමිණ අංගොඩ කැලණිමුලේලේ දී සුරංග කුමාර නොහොත් “රත්තරං” වෙඩි තබා ඝාතනය කරන්නේ අප්පා කොළඹට විකිණූ පිස්තෝලයකිනි. ඒ ඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මස 05 වැනිදාය.
“රත්තරං” අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ අයකු වන අතර, “ගොත අසංක” සහ “ගනේමුල්ලේ සංජීව” රණාලේ සමයංගේ පාර්ශ්වයේ අය වූහ. රත්තරන් ඇතුළු ස්වකීය සගයින් මරණ “සමයංගෙන්” පළි ගැනීමට පාතාල මෙහෙයුමක් සැලසුම් විනි. ඒ 2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදාය. එදින “සමයං” ඝාතනය වන්නේ කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළදීය. ඒ “මාකඳුරේ මධුෂ්ගේ” උපදෙස් පරිදි “අංගොඩ ලොක්කා” සිදුකළ වැඩකි.
ඝාතන සිද්ධියේ ප්‍රධාන වග උත්තරකරු වූ “අංගොඩ ලොක්කා” රටින් පැන්නේය. ඒ ඉන්දියාවටය. වසර කිහිපයක් නිදහසේ එහි ජීවත් වුවත් අවසානයේ ඔහු හෘදයාබාධයක් සෑදී මිය ගියේය.
අමිල නුවන් නොහොත් “ගොත අසංක,” කටුගම්පලලාගේ උදේශික විදුරංග සහ සංජීව සමරරත්න නොහොත් “ගනේමුල්ලේ සංජීව” කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට පත් විය. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවි දෙකක් ද සමගය.
“ගනේමුල්ල සංජීව” විසින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත් දෙනකු මෙහෙයවමින් සිටියේය. වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක් තුළ තබාගෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 03ක් ඔහු විසින් නඩත්තු කළේය. පසුව මේ පිරිස පොලිස් අත්අඩංගුවට පත් වූයේය. පසුගිය වකවානුව තුළ කර ඇති විමර්ශනවලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිස්තෝල 10ක්, ටී 56 ගිනි අවි 10ක් “ගනේමුල්ලේ සංජීවගේ” කල්ලිය සතුව තිබේ.
● නිරපරාදේ සිදු කළ ඝාතන…
මෙම අපරාධවලට අමතරව “ගනේමුල්ල සංජීව” අපරාධවලට කිසිසේත් සම්බන්ධයක් නොමැති අහිංසක මිනිස්සු කිහිප දෙනෙක්ද ඝාතනය කර තිබේ.
වරක් කඩවත ගෑනු කෙනෙකුට වෙඩි තියලා තියෙනවා ලක්ෂ පහක් අරගෙන. තවත් වරක් ජා ඇල ගෑනු කෙනෙක්ට වෙඩි තියලා ඝාතනය කළා කළු අජිත් කියලා වැරදිලා. කෙහෙල්බද්දර සැලූන් එකක වැඩ කරන අහිංසක කොල්ලෙකුට වෙඩි තබා තියෙනවා. ගාල්ල පැත්තෙ තැඹිලි විකුණන අහිංසක මිනිහෙකුට සහ බටපොත හාඩ්වෙයාර් එකක කොල්ලෙකුටත් නිකම්ම වෙඩි තියලා තියෙනවා.
● වර්තමාන තත්ත්වය…
සංජීවගේ සමීපතම පාතාල මැරයන් තැන තැන විසිරී ගොස්ය. ගොත අසංක ඉන්නේ ඉන්දියාවට පැනගෙනය. පස් පොඩ්ඩා ඝාතනය වූයේය. පස්පොඩ්ඩාගේ ඝාතනයේ පලිය ගන්නට පහුගිය වකවානුව තුළ කෙහෙල්බද්දර හීනටියන ප්‍රදේශවල මිනී මැරුම් ගණනක් සිදුවිය. සංජීවගේ ඉලක්ක වැරදී අසරණ තරුණයෙක්ද කෙහෙල්බද්දරදී මියගියේය.
මේ අතර පසුගිය අගෝස්තු 21 වැනිදා ඉන්දියානු තොරතුරු උපුටා දක්වමින් මෙරට මාධ්‍ය වාර්තා කළේ මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙක් ඉන්දියාව, නේපාලය සහ ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් “ගණේමුල්ලේ සංජීව” ඒ අතර සිටින බවත්ය.
ඒ සමගම අගෝස්තු 25 අලුයම පිස්තෝලයකින් සහ ටී. 56 ගිනි අවියකින් ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල වුණේය. ඔහුගේ සොයුරිය පැමිණිලි කර තිබුණේ පොලිසියේ යැයි කියා ගන්නා කණ්ඩායම් නිවසට පැන ඉතාම අනවශ්‍ය ලෙස තමන් පීඩාවට පත් කරන බවය. ඔවුන් එක් අවස්ථාවක නිවසේ ඇති භාණ්ඩ ද කොල්ලකාගෙන ගොස් ඇති බව ඇය ප්‍රකාශ කර තිබුණාය.
කිසිම අපරාධකරුවෙක් නොගන්නා අවදානමක් රැගෙන රතු වරෙන්තු පවා ලබා තිබියදී “ගනේමුල්ල සංජීව” යළි රට තුළට ඇතුළුවන්නට ගොස් අත්අඩංගුවට පත් වන්නේ මෙවන් පසුබිමකදීය.
විසඳා ගත යුතු ගැටලු රාශියක් විසඳීමේ වගකීම මේ වනවිට විමර්ශන අංශ වෙත පැවරී තිබේ. “ගනේමුල්ල සංජීවගේ” මේ ආගමනයේ හේතුව කුමක් ද?. රටම ඔහු ගැන කතාකරන මොහොතක මේ තරම් අවදානමක් ගෙන ඔහු පැමිණියේ ඇයි?. ඔහුව හසුරුවන කිසියම් දේශපාලන බලවේගයක් තිබේ ද?. නැතිනම් වෙනත් පිරිසක් සිටීද? මේ ප්‍රශ්නවලට “ගනේමුල්ල සංජීව” හරහාම උත්තර සොයා ගත යුතුය. ඔහුගේ අපරාධවලට නන් අයුරින් උදව් උපකාර කළ පිරිස් ගැනද සොයා බැලිය යුතුය. එසේ සොයා බලා ඔවුන් ගැන ද රටට හෙළි කළ යුතුය. එසේ නොමැතිව එම අපරාධ අපරාධකරුත් සමග වැළලී යෑමට ඉඩ නොදිය යුතුය. එසේ වුවහොත් “ගනේමුල්ල සංජීවලා” වැනි අපරාධකරුවන් බුරුතු පිටින් බිහිවේ.