By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (මාර්තු 16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පැවසූවේ අපොස සාමාන්‍ය පෙළ 2024 විභාගයේ අක්‍රමිකතා වැළැක්වීමට ශාලාධිපතිවරු හා අතිරේක ශාලාධිපතිවරු හැරුණු කොට අනෙකුත් නිලධාරීන්ට විභාග මධ්‍යස්ථානවල ජංගම දුරකතන භාවිතය තහනම් කර ඇති බවයි.
එමෙන්ම විභාග අපේක්ෂකයන්ටද ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සන්නිවේදන විද්‍යුත් උපකරණ, සටහන් හා මකන දියර විභාග මධ්‍යස්ථානවලට රැගෙන යෑම සම්පූර්ණයෙන් තහනම් බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
විභාගය අධීක්ෂණය කිරීමට ප්‍රාදේශීය, කලාප, පළාත් හා ජාතික මට්ටමින් නිලධාරීන් 35,000ක් යොදවා ඇති බව සඳහන් කළ ජයසුන්දර මහතා විභාග අක්‍රමිකතා සිදු කරන නිලධාරීන්ට විරුද්ධව 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ විධිවිධාන අනුව නෛතිකව ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කළේය.
පසුගිය විභාගයේදී කාර්ය මණ්ඩල සිදු කළ යම් යම් අක්‍රමිකතා පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැඩි තීරණ ගනු ලැබූ බව පැවැසූ හෙතෙම ඇතැම් ගුරු මහත්ම මහත්මීන් වැඩ තහනමට ලක්වූ බව ත් විභාග වංචා සිදු කළ ඇතැම් ගුරුවරුන්ට අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවූ බව ත් ප්‍රකාශ කළේ ය.
විභාග මධ්‍යස්ථානවලට තහනම් කර ඇති උපකරණයක් අපේක්ෂකයෙකු සතුව තිබුණහොත් ඉදිරි වසර පහකට විභාගය තහනම් කරන බව පැවැසූ කොමසාරිස් ජනරාල්වරයා යම් අපේක්ෂකයකුට අමතක වීමෙන් මෙවැනි දෑ රැගෙන ගොස් තිබුණහොත් එය විභාග වරද යටතට ගැනෙන බවද පැවසීය.
විභාග අපේක්ෂකයන්ට අස්සන සහතික කළ විභාග ප්‍රවේශ පත්‍රය, වලංගු අනන්‍යතා පත්‍රය (ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය) පෑන්, පැන්සල් හා ජල බෝතලයක් පමණක් විභාග මධ්‍යස්ථානයට රැගෙන යෑමට ඉඩ දෙන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
විභාගයට පෙර දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විභාග නීතිය කඩකිරීමේ සිද්ධි වාර්තා වූ බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ අද (මාර්තු 17) සිට ලබන 26 වන දා දක්වා පැවැත්වෙන බව ත් මෙවර විභාගයට පාසල් අයැදුම්කරුවන් 398,182ක් හා පෞද්ගලික අපේක්ෂකයන් 75,965ක් ඇතුළුව සමස්ත අපේක්ෂකයන් 474,147ක් අයැදුම් කර තිබෙන බව ත් විභාග කොමසාරිස්වරයා පැවසීය.
උතුරේ ඩෙල්ෆ්, නයනතිව් ඇතුළු දූපත් ඇතුළුව මුළු දිවයින ම ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 3,663ක් ස්ථාපනය කර තිබෙන බව කී කොමසාරිස් ජනරාල්වරයා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ චෙන්නායි නෆීල් විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බව සඳහන් කළේ ය.
එසේ ම, රැඳවියන් සහ පුනරුත්ථාපනය වන අපේක්ෂකයන්ට කොළඹ මැගසින් බන්ධනාගාරය සහ වටරැක සුනීත විද්‍යාලය යන ස්ථානවල විභාග මධ්‍යස්ථාන 2ක් ස්ථාපිත කර ඇතැයි පැවැසූ හෙතෙම මහරගම අපේක්ෂා රෝහලේ තවත් විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා ඇතැයි කීවේය.