මුරකරු මරා KDH රථය පැන්නූ.. අයියා මලෝ කොටු වෙයි.!

වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේ නිවෙසකට පැමිණ එහි සිටි මුරකරු ඝාතනය කර නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් පැහැරගෙන පලා ගිය සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය සමත් වී තිබේ.

පොලිස් වාර්තා අනුව සැකකරුවන් දෙදෙනා සීදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචි 27 හා 25 වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනෙකි.

මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල, මුදුකටුව ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂාන්තන් පෙරේරා නමැති 64 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති කරුණු අනුව, සැකකරුවන් දෙදෙනා පැහැරගත් ජීප් රථය විකිණීමට සූදානම් කර තිබු අතර, මෙම සිද්ධිය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු, අපේක්ෂිත ගැනුම්කරු විසින් එය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසු සැකකරුවන් එම ජීප් රථය මහනුවර ප්‍රදේශයේ දමා යතුරුපැදියකින් සීදූව ප්‍රදේශයට පැමිණ ඇති බව පොලිසිය වාර්තා කරයි.

වෙන්නප්පුව පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයවා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේ පිහිටි එම නිවෙසේ හිමිකරු දැනට ඉතාලියේ පදිංචිව සිටින අතර, නිවෙස බලා ගැනීම සඳහා මුරකරුවකු යොදවා තිබේ.

පොලිස් විමර්ශන වලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ සැකකාර සහෝදරයන් දෙදෙනා නිතර එම නිවෙසට පැමිණෙන්නන් බවත්, මුරකරු ඔවුන් දෙදෙනා හොඳින් හඳුනාගෙන සිටි බවත්ය. සැකකරුවන් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූවන් බවද පොලිසිය සඳහන් කරයි.

මීට මාසයකට පමණ පෙර, මෙම සැකකරුවන් දෙදෙනා ඉතාලියේ සිටින එම පුද්ගලයාගේ වෙනත් ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී පොල් සහ තැඹිලි බලෙන් කඩාගෙන ගොස් ඇති බවද පොලිසිය වාර්තා කරයි.

සිද්ධිය සිදුවූ දිනයේදී, සැකකරුවන් දෙදෙනා එම නිවෙසට ඇතුළුවී මුරකරුගේ අත පය ගැට ගසා ඝාතනය කර නිවෙසේ තිබූ සුඛෝපභෝගී ජීප් රථය පැහැරගෙන ගොස් ඇති බව සී.සී.ටී.වී දර්ශන මගින් තහවුරු වී ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර, හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි වෙන්නප්පුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිති.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments