By unusuma.lk on
(LK time)සමඟි ජන බලවේගය විසින් ඊයේ (14) දිස්ත්‍රික්ක 10ක් සඳහා නව දිස්ත්‍රික් නායකයින් පත්කළ අතර ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකයා ලෙස ජාතික නායකත්වයට අමතරව කොළඹ දිස්ත්‍රික් නායකත්වයත් ඔහු යටතේම තබා තබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා පැවසූවේ තමා හතරවන වතාවටත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨතම මන්ත්‍රීවරයා වුව ද තමන්ට දිස්ත්‍රික් නායකත්වය නොලැබුණු බවයි.
කෙසේවෙතත් හර්ෂ ද සිල්වා මහතාගේ අදහස් දක්වීම තුළ කොළඹ දිස්ත්‍රික් නායකත්වය නොලැබීම සම්බන්ධයෙන් යම් කළකිරීමක ස්වභාවයක් පෙනෙන්නට තිබුණි.
කෙසේවෙතත් ඔහු පැවසූවේ තනතුරු බලෙන් ඉල්ලා ගැනීම හෝ අඩා වැලපී ලබා ගැනීමට නොහැකි බවයි.
මාධ්‍යවේදියා – ඔබතුමාටත් සංවිධායකකමක් දිස්ත්‍රික් නායකත්වයක් හමුබුනාද?
හර්ෂ ද සිල්වා – නෑනේ. මට දුන්නේ නැහැ දිස්ත්‍රික් නායකත්වය කොළඹ. (සිනහසෙමින්) අනේ මොනවා කියන්නද මල්ලි දෙනවා නම් දෙනවා නැත්නම් දෙන්නේ නැහැ. එච්චරයි.
මාධ්‍යවේදියා – බලාපොරොත්තුවෙන්ද හිටියේ?
හර්ෂ ද සිල්වා – මම තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා. හැබැයි ඉතින් නායකතුමා ඒක තියාගෙන තියෙනවා ජාතික නායකයාට අමතරව.
මාධ්‍යව්දියා – ඔබතුමාට දුන්නොත් ගන්නවනේ?
හර්ෂ ද සිල්වා – (සිනහසෙමින්) ඕක ඉතින් ඉල්ලලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ජාතික නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා දිස්ත්‍රික් නායකකමත් අරන් තියෙනවා.
මාධ්‍යවේදියා – කලකිරීමෙන්ද?
හර්ෂ ද සිල්වා – කිසිකලකිරීමක් නැහැ. මෙහෙමනේ ඔය තනතුරු ලැබෙනවා, නොලැබෙනවා මම හතරවෙනි පාර දැන් කොළඹ.
මාධ්‍යවේදියා – ජනතාව ඔබතුමාව ඔසවල තියෙනවා වෙනදාටත් වැඩිය?
හර්ෂ ද සිල්වා – (සිනහසෙමින්) ජනතාවට භාරයි ඒවා. මට ඉල්ලලා, බලකරලා, අඩලා වැලපිලා ගන්නත් බැහැ. එහෙම අවශ්‍යත් නැහැ.
මාධ්‍යවේදියා – කිසිදෙයක් ඉල්ලලා නැහැ?
හර්ෂ ද සිල්වා – ඉල්ලන්න ඕනේ නෑනේ. මිනිස්සු ජන්දේ දෙනවා. මම මගේ වැඩේ කරනවා. විපක්ෂයේ ඉන්නකොට විපක්ෂයේ වැඩේ කරනවා. එකවාරයක් ආණ්ඩුවේ හිටියා, එතකොට පුළුවන් තරම් උපරිමෙන් ආණ්ඩුවේ වැඩේ කළා. දැන් ධනාත්මක විවේචනයක් කරනවා. හොඳ දේට හොඳයි කියන්න මට ප්‍රශ්නයක් නැහැ. වැරදි දේ විවේචනය කරනවා. ජනතාව අපිත් එකක් ඉන්නවා ඒවා ජන්ද වලින් අපි දැක්කා. ඉතින් ඔහොම යන්කො.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය නැවත ඒකාබද්ධවීම පිළිබඳවද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙම දෙපාර්ශ්වය එකතු විය යුතු බවට බිම් මට්ටමේ මතයක් ඇතැයි ද සඳහන් කළේය.
කෙසේවෙතත් සජබ – එජාප සාකච්ඡා කමිටුවට හෝ තමන් පත් නොකළ බවද ඔහු පැවසීය.
හර්ෂ ද සිල්වා මහතාගේ අදහස් දැක්වීම ගැන පෙරළා නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කළ විමසීමේදී ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන්ට පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ කිසිදු අර්බුදයක් නැති අතර හෙඩ් ලයින් ලබා ගැනීම වෙනුවෙන් බොරුවට ආරවුල් ඇති නොකරන ලෙසයි.
පක්ෂයේ මහ ලේකම් මොණරාගල දිස්ත්‍රික්කයේ නායකයා වන අතර තමන් කොළඹ දිස්ත්‍රික්කයේ නායකයා බවත් එහි ඇති ගැටළුව කුමක්ද යන වගත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන්ගෙන් විමසුවේය.