ජනපති අගමැති විපක්ෂ නායක හජ් දින සුභපැතුම් එක් කරයි.!

ජනපතිවරයාගේ හජ් දින පණිවුඩය.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.

ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි. ලොව නන් දෙසින් මක්කම නගරය වෙත පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මෙම හජ් වන්දනාවෙන් ගම්‍ය වන්නේ අන් සියලු ආගමිකයන් සමඟද සමානාත්මතාවෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණය බව මම දැඩි ව විශ්වාස කරමි. එසේම, ඉන් නිරූපිත කැපවීමේ හා පරිත්‍යාගයේ ජීවන ආදර්ශයෙන් හජ් සැමරුමෙහි මුඛ්‍යාර්ථ සංකේතවත් කෙරේ.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුර ලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණකි. රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් අප අපේක්ෂා කරන දියුණු සහ ශිෂ්ටසම්පන්න රට ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය සිදු කිරීමේදී සියලුදෙනාගේ සාමුහික උත්සාහය, මැදහත්වීම සහ සහභාගිත්වය ඉතා වැදගත් වේ. හජ් සැමරුම එකී පොදු අරමුණ වෙනුවෙන් එක් ව අත්වැල් බැඳ ගැනීමට අගනා අවස්ථාවක් නිර්මාණය කරන බවද මෙහි ලා සිහිපත් කරමි.

ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සිත්සතන්හි සමානාත්මතාව, සහෝදරත්වය සහ පරිත්‍යාගය පිළිබඳ හැඟීම් උත්පාද කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ලබා දෙන්නේද මහැඟි පණිවිඩයකි.

එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලුදෙනා එක් ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමට අප රජය දරන උත්සාහයේදී සිය ශුද්ධ වූ විශ්වාසය සමඟින් සියලු ඉස්ලාම් බැතිමතුන් එක් ව සමරන හජ් සැමරුම, මහඟු ආශිර්වාදයකි. මෙරට හා ලෝක වාසී සියලු ඉස්ලාම් බැතිමතුන්ට, උතුම් ඊද් – උල්- අල්හා දිනයක් වේවා‘යි හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.

ඊද් මුබාරක් …!!!

අග්‍රාමාත්‍යවරියගේ හජ් දින පණිවුඩය.

රජයේ අරමුණ වන්නේ සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී ජන සමාජයක් රටේ නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.

අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.

ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් ද, සාමුහිකවත්, සහෝදරත්වයෙන් යුතුවත්, හජ් වන්දනාවේ යෙදෙන අප රටෙත් ලොව පුරාත් විසිරී පැතිරී සිටින සහෝදර මුස්ලිම් ජනතාව අද දින මහත් බැතියෙන් හජ් උත්සවය සමරති. එලෙස ඔවුන් සමරන හජ් උත්සවයේ මෙවර විශේෂත්වය වන්නේ, ඔවුන්ගේ එම දැක්ම සමඟ පෑහෙන ප්‍රතිපත්තියකින් යුතු රජයක් යටතේ මෙවර හජ් උත්සවය සමරන්නට ඔවුනට ඉඩහසර සැලසි තිබීම ය. නබිතුමන් තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වූ මෙම පිළිවෙත, ඉස්ලාම් දහමේ පරිත්‍යාගශීලිත්වය ප්‍රකට කරන සුවිශේෂී අවස්ථාවකි. ඒ අර්ථයෙන් ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක් වී, ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන හජ් උත්සවය සමස්තලෝකවාසීන්ටම මහැඟි ආදර්ශයක් බව මාගේ හැඟීමයි. සාමය, සාධාරණත්වය, මෙන්ම මනුෂ්‍යත්වය ලොව රජයන අනාගතයක් උදෙසා ජාති භේදයෙන් තොරව, එක්සත්ව කටයුතු කරන අපේක්‍ෂාවෙන් අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

විපක්ෂ නායක තුමාගේ හජ් දින පණිවුඩය.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකාවාසී සියලු ඉස්ලාම් බැතිමතුන්ට මගේ සුබ පැතුම් එක් කරනුයේ ඉතා කැමැත්තෙමි. මේ මොහොතේ හජ් සැමරුමේ සැබෑ අරුත ගැඹුරින් වටහා ගැනීම අතිශයින් ම වැදගත් වේ. එක් පැත්තකින් හජ් වන්දනාව යනු ඉස්ලාමයේ මඟ පෙන්වීම අනුව ඉටුකරන වගකීමකි. සෑම ඉස්ලාම් බැතිමතෙක් ම අනිවාර්යයෙන් ඉටු කළ යුතු කාර්යයන් 05ක් ඉස්ලාමීය දහමේ පෙන්වා දී තිබේ.

දේව විශ්වාසය, පස්විල් නැමැදුම, රාමසාන් මාසයේ උපවාසය සුරැකීම, සකාත් නම් වූ දුගී බද්ධ ගෙවීම සහ හජ් වන්දනාව යි. ඉස්ලාමීය මෙම මඟ පෙන්වීම් පහ කෙනෙකුගේ ජීවිතය තුළ ගොඩනඟා ගත යුතු ගුණධර්ම රැසකට මඟ පෙන්වා දීමකි. සාමය, සහෝදරත්වය, සහජීවනය, භක්තිය, පරිත්‍යාගය සහ ආධ්‍යාත්මික ගුණ වගාව ඒ තුළ ප්‍රධාන වේ .

වර්තමාන ලෝකය මුහුණ දී ඇති අභියෝග හමුවේ සමාජය තුළ ගොඩනැගීය යුතු සහ රෝපණය කළ යුතු යහපත් ජීවන චර්යාවනට ඉස්ලාමීය මෙම මඟ පෙන්වීම පරමාදර්ශයක් බව පැහැදිලි වේ.

මෙම දර්ශනය, දැක්ම ඉස්ලාමීය බැතිමතුන්ට පමණක් නොව ඕනෑ ම ආගමිකයකුට තමන් විශ්වාස කරන දහම අනුව සිය ජීවිතය ගොඩනගා ගැනීමට අත්වැලක් බව සඳහන් කළ යුතු ය. හජ් වන්දනාව අර්ථවත් වන්නට නම් අප කළ යුත්තේ නබි නායකතුමන් පෙන්වා දුන් ජීවන දැක්මට අනුගතව ක්‍රියා කිරීම යි. සැබෑ හජ් දින සැමරුම නම් ඉස්ලාමීය මඟ පෙන්වීම මැනවින් වටහා ගෙන ක්‍රියා කිරීම යි. මුළු මහත් සමාජයට ඒ පිළිබඳ වූ පණිවිඩය ළඟා කරවීම යි.

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දින සමරන හජ් උත්සවය අපේ සමාජයේ සංහිඳියාව, සාමයික සාමාග්‍රීය සඳහා කැප වන දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments