ප්‍රශස්ති ගායනා ඇති.. මනෝ සාධාරණය ඉල්ලයි.!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් පවසන්නේ දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් නැතැයි කියන පැරැණි ප්‍රශස්ති ගායනා කිරීම නවතා දෙමළ දේශපාලන සිරකරුවන් සියලු ම දෙනා වහා නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

ඔහු මේ බව පැවසූවේ දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් බන්ධනාගාරවල නැතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් කළා යැයි කියන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා,

“දේශපාලන සිරකරුවන් යැයි කණ්ඩායමක් නැති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. මොහු හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ සහෝදරයාගේ පුතා. එවක ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව සටන් කළ ඔවුන්ගේ සහෝදරයන්ව සිරගත කළ අවස්ථාවේ ඔවුන්ව හැඳින්වූයේ දේශපාලන සිරකරුවන් වශයෙන්. නමුත් යුද්ධය හේතුවෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ සිරකරුවන්ව දේශපාලන සිරකරුවන් වශයෙන් හැඳින්වීම ප්‍රතික්ෂේප කරනවා.

බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි ඇතැමුන් එදා පටන් සිදුකරන ප්‍රකාශ අසා අපට හොඳ පුරුද්දක් තිබෙනවා. විශාල පෙරළියක් සිදු කිරීමට බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඒ ප්‍රශස්ති ම ගායනා නොකළ යුතුයි. ආණ්ඩුව පාර්ශ්වයෙන් ඔවුන් ත්‍රස්තවාදීන් වුණාට ජනතාව පාර්ශ්වයෙන් ඔවුන් අරගලකරුවන්. පලස්තීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා ම අරගල සිදුවූ රටවල තත්ත්වය මෙයට සමානයි.

අපගේ ආණ්ඩු කාලවලත් දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වූ අය සිටියා. 1989දී ජනතා විමුක්ති පෙරමුණේ අරගලකරුවන්වත් එවක ආණ්ඩු ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සටන්කාමීන්ව හැඳින්වූයේ අරගලකරුවන් වශයෙන්. එබැවින් පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතුයි.”

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.