ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.!

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගැනීමට යාමේදී ඇති වූ තත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංවන බානගොඩගේ ප්‍රධානත්වයෙන් අද (29) දින ආරක්ෂක අමාත්‍යංශයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ අනුව, පසුගිය සඳුදා (27) දින, යාපනය වැල් ල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කර ඇති අතර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අයත් නාවික හමුදා යාත්‍රා යොදවා දියත් කරන ලදි.

එහිදි නීතිවිරෝධීව ධීවර කටයුතු මෙහෙයවමින් සිටි එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟින් ඉන්දීය ධීවරයින් දහතුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එම ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා නිරීක්ෂණයට යාමේදී, නාවික හමුදා යාත්‍රා මගින් නිකුත් කල නීත්‍යානුකූල නියෝගයන්ට අවනත නොවී, තවදුරටත් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම යාත්‍රාව වෙත නාවික හමුදා භට කණ්ඩායමක් ගොඩ බැස්සවීමට කටයුතු සිදුකර ඇති අතර, එහිදි නාවික හමුදා භට පිරිස් එම යාත්‍රාව වෙතගොඩවීම වළක්වාලමින් රාජකාරියට බාධා පමුණුවා ඇත.

එම අවස්ථාවේ නාවික හමුදා භටයින් ඉන්දීය යාත්‍රාවට ගොඩ වීමට විරුද්ධත්වය දක්වමින් ආක්‍රමණශීලි අන්දමින් එම ධීවර යාත්‍රාව හසුරවමින් ඉන්දීය ධීවරයින් පිරිස කලහකාරීව හැසිරී ඇති අතර, එම ධීවරයින් පිරිස එක්ව ආක්‍රමණ ශීලී අයුරින් පහර දීමටද, තැත්කර ඇත. එහිදී, නාවික හමුදා නිලධාරීන්ගේ ජීවිතයට අවධානමක් ඇති කරමින්, නාවික හමුදා නිලධාරියෙකු සතුව තිබු ගිනි අවියක් උදුරා ගැනීමට තැත්කර ඇති අතර, එම අවස්ථාවේ එම ගිනි අවිය ක්‍රියාත්මක වීම නිසා ධීවරයින් දෙදෙනෙකු හට සුළු තුවාල සිදු වී ඇත.

නාවික හමුදාව විසින් එම ධීවරයින් දෙදෙනා වෙත අවශ්‍ය මුලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු, වැඩිදුර ප්‍රතිකාර සඳහා කඩිනමින් යාපනය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. එම ධීවරයින්ගේ තත්වය බරපතල නොවන බව යාපනය රෝහල මඟින් තහවුරු කර ඇති අතර, නාවික හමුදාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර ඇත.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රාව සහ ඉතිරි ධීවරයින් එකොළොස් දෙනා කන්කසන්තුරය වරාය වෙත ඊයේ (28) දින උදෑසන රැගෙන ආ අතර, ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය මයිලඩ් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.

අනවසර ධීවර කටයුතු සඳහා මෙරට ජල තීරය සහ අනන්‍ය ආර්ථික කලාපය වෙත ඇතුල්වන ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් මීට පෙරද සිදුකර ඇති අතර, එහි දී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් අත්අඩංගුවට ගෙන අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග සඳහා අදාල බලධාරීන් වෙතඉදිරිපත් කර ඇති බව මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා හා නාවික හමුදාපතිවරයා සඳහන් කරන ලදී.

තවද, උතුරු මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් සහ උතුරු පළාතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කරදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩව කැපවීමෙන් කටයුතු සිදු කරන බවද, මෙහිදී ආරක්ෂක ලේකම්වරයා හා නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලහ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම් හා ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂක නීති යන නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් එම අමාත්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු ලෙස කටයුතු කරන නිලුක කදුරුගමුව ද, මාධ්‍ය ආයතන නියෝජිතයන් රැසක් ද, සහභාගී විය.

මෙම මාධ්‍ය සාකච්ඡාව අතරතුර මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයාවරයා ප්‍රකාශ කලේ, රජයේ ප්‍රතිපත්ති වලට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද අවි විගණනය සාර්ථක බවත්, නිසි පරිදි ක්‍රියාත්මක කරනු ලබන ආරක්‍ෂක තක්සේරු වාර්තා හා බුද්ධි තොරතුරු වාර්තා මත පදනම්ව එක් බලපත්‍රලාභියෙකුට ජීවිතාක්ෂාව සඳහා එක් අවියක් පමණක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.